Monday, August 22, 2011

රහසක්

ඊයෙ හැන්දෑවෙ
විසේ ඇති ඌරෙක්
කොරටුවට ඇවිල්ලා
හාරලා හාරලා
වගාවම වනසලා..
මං යනව හේනට
අද රෑත් රන්කද
උඹට තනිනම්
වහන්නට එපා
මේ දොර පියන..
පුර හදත් නැති එකේ
මහ රෑට
තව එකෙක් එයි
උඹෙ පාළු මකන්නට..
හෙට උදේ පාන්දර
මං එනව
මට පස්සෙ ගෙට වදින
රන්වන් උදා ඉරට
දැනගන්න ඉඩ තියමු
ගෙයි හිටියෙ අපිම වග..
මං දස්ස ගොයියෙක්
වල් ඌරො හෑරුවත්
වගාවම
ඵලදාව හෙට අයිතිවෙන්නෙ මට..
බාගවිට
වැපිරුවෙ තල වුවත්
කුරහන්ය අස්වැන්න
කමක් නැත..