Email මඟින් පුස්කොළේ කියවන්න

Tuesday, March 8, 2016

අන්තිම බිංදුව

ගැහෙයි හද තවමත් දැවෙයි
දෙතොල දිය බිඳුවක් යදියි
පසුම්බිය නුඹ,
සුසුම් නොහෙලන්න...
නෝට්ටුව දී ඇගේ ළමැදට
සැහැල්ලුව අත් විඳිමු අපි අද ..
කාකි ඇඳුමට බයේ දිවයන
මුවැත්තිය ඇත ලෑලි ඇඳ මත..
වොට් හතලිහේ විදුලි බුබුලට
මුහුණ මත වත්සුනු මකාගෙන
හීන් දා බිඳු නැඟෙනවිට,
බුරුල් වූ ඇණ
නඟන ඒ හඬ
රැහැයි හඬ නැති
මුඩුක්කුවෙ ඇත..
දහයෙ කණිසම වදිනවිට එන
සෙමියෙ මම ගම යා යුතුව ඇත...
ටිෂූ කොළයක ගුලි ගසා සිටි
මුදුව එන විට නිසි ඇඟිල්ලට
සලිත හද නික්මුනා විගහින
ගුලිගසාගෙන පැයක සැනසුම...

කොළඹ ආව මං

හතර වරං රැකවරණෙන්
නෑ සියන්ගෙ අසිරි අරන්
පාන්දරින් රැජිණෙ නැගල
කොළඹ ආවෙ මං
සහතික මිටි තුරුළු කොරං
බඩ වියතක් හොයං ගොහිං
කොළඹ ඇවිත් කට්ට කාපු
පට්ට පොරක් මං...
ලෑලි මුඩුක්කුවක ඉඳන්
චීත්ත රෙද්දක් පටලන්
ඉඳුල් කොරහ කැළණියේදි
විසිකෙරුවත් බං
කොට සායක් හිරට ඇඳං
බඩෙන් බාගයක් පෙන්නං
යන උන් මම දැක්කෙ මචං
කොළඹ හතේ බං...
කළු දුම් රොටු රටා මැදින්
නිල් අහසේ සුදු පාටින්
ජීවිතයට පාර කිව්වෙ
කළු කපුටොයි බං
ඒ පෙන්නපු පාර මිසක්
විළවුන් වල සුවඳ දිගේ
ගිහින් ජීවිතේ නිකම්ම
පරදින්නෑ මං...

නුඹත් මියගොස් නම්!

බලාගත් වනම
නොසැලෙන
නොගැසෙන
නුඹේ නෙත් යුග
යොමුවෙලා අද
පාළු සොහොනක මුදුනට
පායලා ඇති තරුවට...
ඒ තරුවෙනුත් එහා ඈතක
නුඹ නමින් පෙරදිනක මියගිය
ඔහුත් සිටියා තරුවක
තුරුළුකරගෙන
සීත පිනි කැට...
ඉතිං පායන්න
හෙට පටන් නුඹ
ඔහු සුරතෙ ඇති
සීත පිනි මත...
මෑත සිට මම
අඳුරු අහසට
එළිය දෙන්නම්
තරුවක්ව හිඳ...