Email මඟින් පුස්කොළේ කියවන්න

Tuesday, March 8, 2016

අන්තිම බිංදුව

ගැහෙයි හද තවමත් දැවෙයි
දෙතොල දිය බිඳුවක් යදියි
පසුම්බිය නුඹ,
සුසුම් නොහෙලන්න...
නෝට්ටුව දී ඇගේ ළමැදට
සැහැල්ලුව අත් විඳිමු අපි අද ..
කාකි ඇඳුමට බයේ දිවයන
මුවැත්තිය ඇත ලෑලි ඇඳ මත..
වොට් හතලිහේ විදුලි බුබුලට
මුහුණ මත වත්සුනු මකාගෙන
හීන් දා බිඳු නැඟෙනවිට,
බුරුල් වූ ඇණ
නඟන ඒ හඬ
රැහැයි හඬ නැති
මුඩුක්කුවෙ ඇත..
දහයෙ කණිසම වදිනවිට එන
සෙමියෙ මම ගම යා යුතුව ඇත...
ටිෂූ කොළයක ගුලි ගසා සිටි
මුදුව එන විට නිසි ඇඟිල්ලට
සලිත හද නික්මුනා විගහින
ගුලිගසාගෙන පැයක සැනසුම...

කොළඹ ආව මං

හතර වරං රැකවරණෙන්
නෑ සියන්ගෙ අසිරි අරන්
පාන්දරින් රැජිණෙ නැගල
කොළඹ ආවෙ මං
සහතික මිටි තුරුළු කොරං
බඩ වියතක් හොයං ගොහිං
කොළඹ ඇවිත් කට්ට කාපු
පට්ට පොරක් මං...
ලෑලි මුඩුක්කුවක ඉඳන්
චීත්ත රෙද්දක් පටලන්
ඉඳුල් කොරහ කැළණියේදි
විසිකෙරුවත් බං
කොට සායක් හිරට ඇඳං
බඩෙන් බාගයක් පෙන්නං
යන උන් මම දැක්කෙ මචං
කොළඹ හතේ බං...
කළු දුම් රොටු රටා මැදින්
නිල් අහසේ සුදු පාටින්
ජීවිතයට පාර කිව්වෙ
කළු කපුටොයි බං
ඒ පෙන්නපු පාර මිසක්
විළවුන් වල සුවඳ දිගේ
ගිහින් ජීවිතේ නිකම්ම
පරදින්නෑ මං...

නුඹත් මියගොස් නම්!

බලාගත් වනම
නොසැලෙන
නොගැසෙන
නුඹේ නෙත් යුග
යොමුවෙලා අද
පාළු සොහොනක මුදුනට
පායලා ඇති තරුවට...
ඒ තරුවෙනුත් එහා ඈතක
නුඹ නමින් පෙරදිනක මියගිය
ඔහුත් සිටියා තරුවක
තුරුළුකරගෙන
සීත පිනි කැට...
ඉතිං පායන්න
හෙට පටන් නුඹ
ඔහු සුරතෙ ඇති
සීත පිනි මත...
මෑත සිට මම
අඳුරු අහසට
එළිය දෙන්නම්
තරුවක්ව හිඳ...

Monday, March 3, 2014

ඡන්ද ඉල්ලීමක්



සිනා නුඹේ මට මතකයි
පෝස්ටරේ තිබුනා
ගෙදර ආව වෙලාවෙ මම
යාන්තමින් දුටුවා
නුඹ වටේට කැහැටු ගැහුනු
ගමේ එවුන් හිටියා
නුඹ විතරක් ඉරක් වගේ
තේජසේට දිලුනා
හැන්දෑවට පන්සලේදි
පූජාවක් තියලා
හාමුදුරුවො එයා ගානෙ
ජන රැළියක් දුන්නා
අණ්ඩ දාපු සරම් ඇඳන්
අපිත් කතිර ගැහුවා
යන්ඩ කළින් නුඹ ආයෙත්
අපිට අතක් වැනුවා
ගිය ඡන්දෙන් පසුව දැකපු
මගෙ උත්තම මුනිඳු
අපි දෙනවා මෙදා සැරෙත්
අං එන්නට පළමු
අපේ සැපත් අරන් යෙහෙන්
වැජඹෙන්නයි මුනිඳු
අපිටත් හැකිනම් පොඩ්ඩක්
සලකනු මැන නිරිඳු

කාන්තාරයේ කඳුළට

රෑන ගිරව්
රන් කරලට ආල වඩද්දී
හීන අරන්
නුඹෙ උකුළට ආව සිඟිත්තී
ගීත නොදත්
රළු දෑතක අද නැළවෙද්දී
මරු කතරක
කාසි හොයන මගේ දිළින්දී

කඳුළු වලින්
වැලි කතරේ වැවක් තනද්දී
මිරිඟුව අද
මගේ හිතේ නුඹව මවද්දී
සිඟිති දෝණි
පන් පැදුරේ හීන දකිද්දී
නුඹ නැති
පැල්පත අඳුරුයි මද්දහනේදී

කාසි කුමට
ජීවිත ඇපයකට තියෙද්දී
සතුට කොයිද
නුඹ ඇඳටම වී යළි එද්දී
එන කන්නෙට
යාය මඬිමු අඬහැර මැද්දේ
යළිත් වරෙන්
මගේ රටට මගේ සිඟිත්තී

ඉඩෝරයේ වැළපිල්ල

හිනැහෙයන් බිසව්නේ
උඩඟුකම් දුරලා
මිනිසුන් හඩන්නේ
පැන් පොදක් ඉල්ලා
හිරු වසාපන්නේ
මේඝ සළු එලලා
කඳුළු හෙලපන්නේ
මිහිකතම සනහා

ගොවි පුතු මියෙන්නේ
යාය මියැදුනු නිසා
ගෙවිළියන් හඬන්නේ
උකුළ හිස් වුනු නිසා
පොඩි එවුන් අඬන්නේ
අටුව හිස්වුනු නිසා
එළදෙනුන් හඬන්නේ
තණ යාය මුඩු නිසා

එක පැයක් හඬාපන්
වැව එයින් පිරෙනවා
තව පැයක් හඬාපන්
යාය පණ ගහනවා
මුළු දවස හඬාපන්
ගම සිනහ නඟනවා
එය බලා හිනැහියන්
නුඹට පින් ලැබෙනවා

ගැත්තාගේ ගීතය

මිටියාවත් පමණි වතුරෙන් පෙළෙන්නේ
කඳුගැට හැමදාම වතුරෙන් රැකෙන්නේ
හිරු හැමදාම කඳුගැටයයි සිඹින්නේ
මිටියාවත් කැකුළු උපතෙම මියෙන්නේ

පුවක් ගෙඩි පමණි ගිරයෙන් කැපෙන්නේ
පුවක් කවදාද ගිරයක් තලන්නේ
විටක් වී වුවත් යළි යළි තැලෙන්නේ
පුවක හැමදාම ඇයි දුක් විඳින්නේ

කොඳු ඇට නැවෙනවා අග හිඟ ආ දාට
නැවුනු කොඳු කෙලෙස හිස බර දරාවිද
හිස බර නිසා සැතපෙන්නට හිතයි මට
සැතපෙන ඇසිල්ලට හිතගොස් හැතැප්මක

අනේ කුවේණි

කුවේණියේ නුඹ
මායම්
හැටහතරක් එකට අරන්
හිසින් අඩක්
මුඩුකර ආ
විජය
වසඟයට ගත්තත්
උපන් බිමෙන්
සුර අඟනක්
අරන් ඇවිත්
එක දවසක්
දරු දෙදෙනා සමඟ
නුඹත්
එළවන්නට හත් ගව්වක්
විජය ගත්තෙ විනාඩියක්
සහ
තප්පර දෙකක් තුනක්

සොඳුරු පා පහරක්


පැය  ගනනක් පුරා
එක දිගට
දරා සිටියෙන්
දහස් ගනනක්
පා යුග...
විඩා බරව උන්
පදික වේදිකාවට
මා තබන විට
පියවර...
සවිවර නොකර
මෑතකදි එහි ඉන්දුව
ගල් කැට,
අසමබර කර
මා ගත...
සැලසුවා මට
වැතිරගන්නට
ඈ මත...
බෝ දුර නිසා නිවසට
වැතිරුනෙමි මම ඇය මත
ඉවසගෙන
වේදනා මා ලද...
කෑවනම් බීවනම්
ගෙදර පල කියාගෙන
එහි පැමිණුන
කාකි ඇඳුමක කෙළවර
යසට වැජඹුන මිරිවැඩි
සිපගෙන මා මුව
කරගත්තේය සපථ
මාද මිනිසෙක් වන බවට
රතුපාට ලේ ගලන...

Sunday, February 9, 2014

හැරදා ගියත් මා එන්නම්...



රජරට රැජිණිය මා ගෙන යනවද
ඇය මා හැරගිය කොළාම් තොටට හෙට
බලාපොරොත්තුවෙ සුවඳ දැනෙන්නට
අවසන් පණ නළ යන්නට පළමුව

ජීවිතයට හිමි කඳුළම අරගෙන
ගෙත්තම් කරන ඇගේ ජීවිතයට
කඳුළු පිසදමා සිනා ගෙනෙන්නට
ඉදිකටු තුඩට වඩා පුළුවන් මට

කුවේණියනි ලංකාපුර රජවුන
කිමද ගියේ අතහැර සිය පරපුර
තනිකම දැනෙනවනම් රජු නැතිවිට
මම ළඟ ඉන්නම් කඳුළු පිසින්නට

Tuesday, January 14, 2014

තිස් එක මගේ ඇසින්

සමරන්න හේතුවක් මිස
හෙට කොයිද
නව ඉරක්..
අද වගෙම තව දිනක්
තිස් එකට තව එකක්
අතේ ඇති තුට්ටුවට
කෙළවන්න හේතුවක්..
හදාගෙන අපිම අද
අපිට විකිණෙන රටක්
මුදල් දී ගන්නවා
සතුට සැනසුම ටිකක්..
මල්වෙඩිල්ලක් වගේ
පණ තියෙන ජීවිතත්
පහු දිනට අමතකයි
වෙඩිල්ලත් ඒ හඬත්..
අපි යළිත් දුවනවා
සමරන්න තව දිනක්
සොයන්නට හේතුවක්
සමඟ කහවනු ටිකක්...
ඔබ සැමට සුබ නව වසරක්!

Monday, October 8, 2012

අඩු මිලට මගෙ ළඟට



අඩුම මුදලට විකිණෙන
ලුහුඬු දැන්වීම
කුමන අඩුපාඩුද
පමණ සහ හැඩ හුරුව හැරුණම
ඒ නිසා නුඹ මට
සෑහේවි මගෙ අවැසිතාවට
අතේ ඇති මුදලට
කුමට ගනිමුද
වර්ණ පිරි ඉඩ

Saturday, June 9, 2012

වැද්දා

මම වැද්දෙක්ලු
මී වදයක්වත්
කඩල නැති..
කී නුඹ කුමරියක්
කඩු දෙකතුනක්
දීගත්තු..

‍හදවතේ පැතුමක්

භවෙන් භවයට
පතාගෙන ආ
සොඳුරු එක හදවතක්
නමින් ඉපැදුන
සොඳුරු හැඟුමක්
අකුරු වුන මොහොතක්
ලොවක් නිදනා
සඳුත් සැඟවුන
අමාවක පෝයක්
මගේ තනියට මා ළඟින් සිටි
තරුවකට කීවත්

හදේ ගැඹුරුම තැනෙක ඉපැදුන
ඒ සොඳුරු හැඟුමන්
පන්හි‍ඳේ තුඩගේ දැවටිලා
ලියූ එක් ගීයක්
සත්සරට ආරාධනා කර
තනුව අහිමි වුනත්
ඉකිබිඳුමකට ඉඩක් නොතියා
තරුව ළඟ උන්නත්

එන්න සුහදිනියේ ගයන්නට
ආදරේ ගීයක්
පුන්සඳක් වන් නූඹ අසල නෑ
මට මාසෙ පෝයක්
ඉකිබිඳුමකට නොදී අවසර
මුමුණමුද මොහොතක්
තරු කුමට මට අහිමි වුව සඳ
යළි එනව පෝයක්

Thursday, June 7, 2012

එපා විකුණන්න දසිස් රාවණ...

අපේකම, මගේකම ඉස්මතු වන්නට පටන් අරන් වැඩිකාලයක් නෑ. පාසැල් ඉතිහාසයට උගත් අපේ පළමු මහරජු විජය. අනේ සංසාරේ.... යන එන මං නෑ. අබා සිනමා කරළියට පිවිසෙන්නෙ විජයට මරණ සහතිකය ලියාගෙනමයි. ඔන්න අපි පටන් ගත්තා අපි ඉන්දීය සම්භවයක් ඇති විජයගේ උන් නෙවෙයි, අපි මේ ලංකාවෙ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අබාගෙ කට්ටිය කියල කියන්න. ඒ අනුව අබාට උප්පැන්න සහතික හැදුවෙත් අපිමයි. උතුරෙ යුද්දෙත් ජයටම කෙරුණ කාලෙ. ඉතිං අපේ කමට මාර ප්ලේස්. සුදුවතට කහ වතට ගරු නම්බු. ගමේ උපාසකලට නම් උණ බම්බු. කමක් නෑ කියමුකො. අපි එහෙම ලේසියෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඉතිහාසෙ දිග මදි වගේ දැනුනා. අල්ලගත්ත රාවණාවත්. දැන් පුළුවන්නම් එකෙක් හරි කියපල්ලකො උන්ගෙ ඉතිහාසෙ අපටත් එහා කියල.

කවුද මේ රාවණා? උත්තර දෙන්න අය පෝළිමේ එයි. අපිට ආඩම්බරයක් රාවණා. ඒත් හදිසියේ මතුවෙලා එන මේ රාවණා උන්මාදය ඒ සැබෑ රාවණා වෙනුවෙන්ම නැගෙන හඩක්ද කියල පුංචි හරි සැකයක් ඇතිවෙනව. හරිහැටි හොයල බැලුවොත්, එකම කරුණු ටික අරහෙට මෙහෙට පෙරල පෙරල ඉන්නෙ නැතුව මේ දේවල් ඔප්පුකරල පේන්නන්න මඟක්වත් හදන්නෙ නෑ මේ රාවණා පැටව්. බොහෝ කලකට පෙර මෙහිම විසූ මහා තේජස් දසිස් රාවණා නිරිඳුන්ටත් නිගාවක් මේ දෙවල්. අරහෙන් මෙහෙන් අහුලගත්තු මැජික් කෑලි පෙන්නලා මේව රාවණාගෙ වැඩ කියල බඩගෝස්තරේ හොයාගන්න දඟලන්නෙ නැතුව සැබෑ රාවණා උරුමය සොයා යන්න. හැකිනම් පෙන්වන්න ලොවටම රාවණා අනුහස. එයට අපගේ හදපිරි සුබපැතුම් සහ ආශිර්වාදය. රාවණා නිරිඳුන්ගේ නම ඈඳාගෙන ජයටම කෙරෙන ජෝතිෂ්‍ය කටයුතු, අංගම්පොර, හෙළ වෙදකම් ඇතුළු පුංචි පුංචි බොරු සහ ඒ බොරු පවත්වාගෙන යන සහෘදයණි. තවත් රවටන්න එපා මේ රටේ කිසිවක් නොදන්නා අහිංසකයින්. අපි කවුරුත් ආඩම්බරයෙන් අපි රාවණාගේ දරුවෝ කියන්න සූදානම්. ඔබ සතුව සැබෑ ශිල්ප තිබේනම් මේ ව්‍යාජ රැවටිලිකාරයන් අතරින් සැබෑව ඉස්මතු කරවන්න කාලයයි මේ.

Thursday, May 24, 2012

මරණීය රමණය

ඝණ අන්ධකාරේ
සීතලට සිත ගුලිවේ...
කිරිකිරිය සයනේ
එකෙකු දඟලන
බවකි කීවේ...
නිහඩ බව බිඳලා
මූසල බකුසු හඩදේ...
කදෝපැණි එළියෙන්
සැලෙන රූ මට දිස්වේ...
සියළු දුක් දුරලා
සුරසැප සොයන මිනිසා...
නාදුනන ඇය තුරුලේ
මරණීය රමණයේ යෙදුනේ...

Thursday, April 19, 2012

ඔහු එනතුරු මම ඉන්නම්. (I'll Wait till he comes)

වත්සුනු දියවෙලා ගිය සඳ
අමාවක සඳට සම වත
හීන්සීරුවේ පිරිමැද
ළයට ළංවෙලා
කණාමැදිරියන් පමණක්
තරුත් සමඟ දොඩමළු වෙන
අමාවක රැයක රහසින්
දොඩමළු වෙන්නම්...

අඩක් වැසූ දොරපියනෙන්
නැ‍ඟෙන කිරි කිරිය මඟහැර
බකමූණන් හඩනඟද්දි
ගෙට ගොඩවෙන්නම්
බල්ලන් උඩු බුරන හඩට
අප්පච්චී ඇහැරුනොතින්
කළුවරේම පෑලදොරින්
පැනල දුවන්නම්

සත්සමුදුර රැළි නඟාවි
තුන්තිස්පැය එක වගේම
හෙට මා දැල අදින පැයේ
ඔබ හමුවෙන්නම්
පොල් රුප්පාවේ ඈතට
අත්පටලා පිය මැන යමු
මුහුදු ගිහින් ඔහුඑනකම්
මං ළඟ ඉන්නම්..

Friday, April 13, 2012

එපා එපා අපිට එපා!

හැමදා නියං එකදා වැහි වළාවේ
එරබදු පිපීලා ගම්බද වෙල් අයිනේ
නෙත් අග කඳුලු හංගාගෙන හිත ඇතුලේ
අපි කමු අවුරුද්ද මේ සුබ බක් මාසේ

කැමරා ඇසට අසුවන සුන්දර දසුන
හැමදා දිවි ගෙවන අපටද අසුන්දර
ගම්බද සිරි වනන ආදර නිවේදක
එනු මැන වසන්නට ගම ගැන දැනගන්න

ගමට අලුත් නෑ සිංහල අවුරුද්ද
මොඩල ගමක් ඕනෑ නෑ අපට බොල
පොතපත දැනුම අගයමි ඔබ ලැබගත්ත
ඒ මුත් අවුරුද්ද එයයැයි නොකියන්න

සිංහල අවුරුද්ද වෙනුවෙන් කෑමොර දෙන මීඩියා කොවුලන් වෙතයි.

Thursday, October 6, 2011

අතීතයෙන්...

‍ඔන්න ඒ අපේ ඉහ නිකට පිරෙන්න පටන්ගත්ත කාලේ. දැළි රැවුල කපාගත්තු අපිට ලෝකෙම අපිට ඉහලින් එකෙක් හිටියෙ නැති තරම්. කොටින්ම කියනවනම් අපි තමයි කෙරුමෝ. අපේ ඉහ‍ට උඩින් කාක්කෙක්වත් ගියේ නෑ. කරදඩු දික්වේගෙන ආව ඒ කාලේ අතපයේ හිරි ඇරගන්න තමයි කොයි වෙලාවෙත් සූදානම. ඒ අස්සෙ අළුත් අත්දැකීම්. සිගරට්, අරක්කු... ආ, ඒ විතරක්ද ගංජා. මේ හැමදෙයක්ම කොල්ලෙක් හැටියට අත්හදාබලන්න තමයි උවමනාව. ඒ විතරක්ද? කෙල්ලෙක්.. ශිෂ්ඨ බසින් කියනවානම් විරුද්ධ ලිංගිකයෙක් හොය හොයා හිටිය කාලයක් ඒක. විෂය නිර්දේෂයනම් තිත්තම තිත්තයි. ගෙදරින් සල්ලි දුන්නු හින්ද පන්තිනම් ගියා. හැබැයි ඉස්කොලෙ ඇතුළෙ නරකම නරක ලේබලය වැදිල. ඒක දුකක් නෙවෙයි. ආඩම්බරයක්. ආඩම්බරකාර දඩබ්බරයෝ.

ටියුෂන් පන්තියේ හිටපු අහිංසකම කෙල්ල තමයි ඔයා. මට ඒ දවස්වල ඔයාව පෙනුනෙ ඒ විදිහට."අ‍ඩෝ, එකෙක්වත් මේකට බහින්නෙ නෑ හරිද? මේක මගේ." කෙරුමගෙ කීමට හැමෝම අවනත වුනා. හැබැයි ඔයා මේ වෙද්දිත් මෙලෝ දෙයක් දන්නෙ නැතුවයි හිටියේ. මම හරිද මන්දා. "මචං, රංගනය පැණියා. මිනිහා ශෂිකලා ළඟින් හෙල්ලෙන්නෙ නෑ." අතිජාත දකුණු අත කූඹියා.. දැම්ම මට පැමිණිල්ලක්. නඩු ඇහිල්ලක් නෑ. පන්තිය ඉවරවුන ගමන් මගේ සුරත ඉගිලිලා ගිහින් නැවතුනේ රංගනයගෙ කම්මුල මත. මමනම් එච්චරයි. හැබැයි මගේ යාළුවන්ගෙන් රංගනයට අම්බානක ලැබිල තිබුනා. ඒ කාලෙ ගුටිකෑවට‍ ඒක ඒ තරම් ලජ්ජාවක් නෙවෙයි. ඒ හින්දමද මන්දා, රංගනයත් ගුටිපූජාව කාලා කැපිලා ගියා.

අපිට තිබුනා තනියම පාඩම් කරන්න බැරි ලෙඩක්. ඒ හින්දා අපි හැමෝම පාඩම් කරන්න රෑට සෙට් වුනේ කුප්පියාගේ ගෙදරට. විශ්ව විද්‍යාලෙ යන්නනම් අදහසක් එතන හිටිය එකෙක්ටවත් තිබුනෙ නෑ. ඒක මහ කාලකන්ණිකමක්. ඒවයෙන් වැඩක් නෑ. ඔන්න අපි මුලින්ම කරන්නෙ පත්තුකරගන්නවා එක මලක්. ඒ දුමත් එක්ක අපේ නිර්මාණශීලී අදහස් පාවෙනවා. පට්ට. "ඔහොම ඉඳල හරියන්නෙ නෑ බන්. කෙලින්ම ඒකිගෙන් අහපන්. කෙල්ලො කැමතියි කෙලින් අහන උන්ට". ඒ අවවාදය අපේ සෙට් එකේ වැඩිපුරම කෙල්ලො සෙට්කරගත්තු රොමාගෙන්.

උපදෙස් මහ ඉහලින් පිළිගත්තු මමත් සෙට්වුනා පහුවදා උදේම, මගේ පෙම පවසන්න මගේ රන්කඳට. "ශෂී, පොඩ්ඩක් නවතින්න. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා". ඔයා නැවතුනා. මගේ හිතේ මලක් පිපුනා වගේ. " ඇයි සාලිය. මොකක්ද කියන්න තියෙන්නේ". ඔයා කවදත් වගේ අහින්සකව ඇහුවා. "ශෂී, මම ඔයාට ආදරෙයි" අනේ මන්ද ඒ වචන ටික කියන්න හයියක් කොහෙන් ආවද කියලා. කොහොම හරි කිව්වයි කියමුකෝ. මෙන්න කෙල්ලගෙ මූන කළු වුනා. ගත්ත පොත්ටික. දිවිව පන්තියෙන් එළියට. විලි ලජ්ජාවයි. මම මහා වැරදිකාරයෙක් වගේ හැඟුනා. "මම ආයෙ පන්ති යන්නෙ නෑ." මම කිව්වා. ඒ තීරණේම හිටියා. කාලය ගෙවිල ගියා. විභාගෙත් ඉවර වුනා. ඔයා ගොඩගිහින් තිබුනා. අපිගැන කියන්න ඕනෙ නෑනේ. මම ගමෙන් පිටවුනා. ආයෙ කවදාවත් අපි හමුවුනේ නෑ.

ඒත් අහම්බෙන් වගේ ගිය අවුරුද්දෙ අපි හම්බවුනා. දැන්නම් මම තනිවෙලා. මම කිව්වෙ යාළුවොත් දැන් පවුල් වෙලා. අපිට දැන් ජීවිතේ බර දැනෙනවා."ඉතිං කොහොමද?" ඔයා ඇහුවා."මම හොඳින්, ඔයාට කොහොමද?" මමත් ඇහුවා.
අහල නැවතුනේ නෑ."ඔයා බැඳලද?" මම ආයෙත් ඇහුවා. "නෑ, තවම නෑ. ඔයා?.." කාලය කෙතරම් නපුරුද සොඳුරිය. හදවත සින්නක්කරේටම දීල හෙටට අවුරුදු තුනයි. ඔයා හිස් සුසුමක් පිටකරා."සුබ පැතුම්." ඔයා අත දුන්නා. ඔය අත අරගන්න මම දඟලපු තරම මට සිහිවුනා. මම අතීතයට ගියා. "බඳින්නෙ නැද්ද, වයසත් දැන් හරි" මම හිනා වෙවී කිව්වා. " හ්ම්... එක්කෙනෙක් හිටිය කැම්පස් කාලෙ. ඒත් දැන් ඒක නෑ. අදහසකුත් නෑ සාලිය" ඔයා කඳුලට පෙම් බැඳලා. එදා කැමතිවුනානම් අද අපි දෙන්නම ගොඩ නේද කියල මම මුවින් නොදොඩා සිතින් කිවුවා. මම දන්නවා. ඔයාට ඒක තේරුනා. " මම ගිහින් එන්නම් සාලිය" ඔයා මට සමු දුන්නා. "ශෂී...." මම ආයෙත් ඔයාට කතාකරා. "නම්බර් එක දෙන්න. මම නිවාඩු වෙලාවක කතා කරන්නම්". ඔයා හිනාවුනා. ඒ හිනාව ඇතුලෙ බලාපොරොත්තුවක් තිබුනා. ඒත් ඒක කවදාවත් ඉටුවෙන එකක් නෙවෙයි ශෂී. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙන්නම්. ඔයා කවදහරි හොඳ කෙනෙක් හොයාගන්නකම් මම ඔයාව තනිකරන්නෙ නෑ. සමහරවිට මුළු ජීවිත කාලෙටම වුනත්.

Wednesday, October 5, 2011

දෙතිස් වධ...

අතීතයේ ලංකාවේ රාජ්යැ පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්යර පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත.

1. කසයෙන් පහරදීම
2. වේවැලෙන් හෝ පතුරකින් පහරදීම,
3. අත කැපීම,
4. පය කැපීම,
5. කන කැපීම,
6. අත්පා කැපීම,
7. නාසය කැපීම,
8. කන් සහ නාසා කැපීම,
9. ඇස් උගුලවා දැමීම,
10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
14. දිවැස් හුල හිඳවීම,
15. කඩුවෙන් හිස ගසා දැමීම,
16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
18. පැසුණු තෙල් වලින් නැහැවීම,
19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

මෙවැනි දඩුවම් ඉතා අමානුෂියයැයි ඇතම් විට සිතුනද, එවැනි දඩුවම් නොමැති කල සිදුවන ඇතැම් අපරාධ දැකීමෙන් මෙවැනි දඩුවම් තිබුනානම් යෙහෙකැයි කියන්නෝද සිටිති. කෙසේ නමුත් සංස්කෘතිය මඟින් හික්මනු නොහැකි වූ බොහෝදෙනා මෙවැනි දඩුවන් මඟින් හික්මවීම තුල එදා හෙළදිව අපරාධ බොහෝ දුරට අඩුකරගැනීමට පාලකයෝ සමත්ව සිට ඇත. සියොළඟ අබරණ දවටාගත් තරුණියකට තනිවම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යෑමට තරම් සුරක්ෂිතතාවත් ඇතිවීමට ආගමික සංස්කෘතික සාධක මෙන්ම මෙවැනි දැඩි දඩුවම්ද හේතුවන්නට ඇත.

ඇතින්නියේ...

ඇතින්නියේ උඹ වදපන්
සුදු දළ ඇති ඇත් පැටවෙක්
නෙළුම අරන් යන්න නොවෙයි
පෙරහැර දා දක්කන්නට...
දම්වැල් ගැන හිතනු එපා
ඒ පින් හිරකර බඳින්න
ඒ වගේද පිට උඩ ඇති
රැස් විහිදෙන මහ කරඩුව...
හෙණ්ඩු නිකම් තේජසේට
නැහැ අන්න්නේ උඹෙ පුතාට
දණ ගහලා කිරි වෙහෙරට
ඌ වඳීවි හැම උදේම...
සාදු සාදු හඩ නගාවි
සුදු ඇඳගත් හැමදෙනාම
උඩ ඇති කරඩුව දැක දැක
‍නොදැක පහල විලංගු ටික...

Thursday, September 29, 2011

මගේ ඡන්ද අයිතිය...

බැලූ විට කැඩපත
දුටිමි
ගොන්තඩියෙකු මම
අඩුවුනේ එහි මට
අං දෙකක් සහ වලිගෙ පමණය
දමා ඇත ඡන්දය
යළිත් බොරුකාරයෙකුට
කිසි දුකක් නෑ මට
ඒ මගේ
ඡන්ද අයිතිය...

ගැටළුවක්...

කොළොම්බස්
හොයාගත්තලු ගොඩබිමක්..
එතකොට
රතු ඉන්දියන්කාරයෝ
කලේ මොන ඉටිගෙඩියද
එහිසිට
කොළොම්බස්ගෙනෙ ගොඩබිම..

Thursday, September 15, 2011

පරතරය...

ඔය සඳළුතලයෙන්
එපිටට
යොමා නෙත
බලන නුඹ හ‍ට
පෙනුනේද සොඳුරිය
මා දිවිගෙවන
අසපුව...
ලෑලි පටි අතරින්
ලාම්පුව ජනිත කල
ඒ එළිය
හාත්පස ගනඳුර
තුලින් ඇවිදින්
ගැටුනේද
දෙනෙතට...
සුවිසල් මන්දිරේ
සේද තිරපට අතරින්
දැල්වෙන පහන් එළියෙන්
එළිය කරනා විලස
මගෙ සිත...
හැකිවෙයිද සොඳුරිය
එළිය කරනට ඔය සිත
කුප්පි ලාම්පුවකට
බොඳකරනවා මිස ඇස...

Tuesday, September 13, 2011

හිතයි මට...

තටු
සිහිනයක්
පමණද මට..
ඉගිල්ලෙන්නට
වෙරදරන
සිතකට,
උරුම
මහ පොළොව
පමණද..
හති වැටෙනතුරු
ඉගිල්ලෙන්නට
වරම් නැති විට..
හෙළකින් පහලට
පැන,
රක්තවන් රුධිරයෙන්
නැහැවුන
වත සතපවා
මිහිමත,
මියෙන්නට හිතයි
මට..
හාමතේ ඇදවැටී
මියැදෙන්න පෙර
හෙට...