Thursday, October 6, 2011

අතීතයෙන්...

‍ඔන්න ඒ අපේ ඉහ නිකට පිරෙන්න පටන්ගත්ත කාලේ. දැළි රැවුල කපාගත්තු අපිට ලෝකෙම අපිට ඉහලින් එකෙක් හිටියෙ නැති තරම්. කොටින්ම කියනවනම් අපි තමයි කෙරුමෝ. අපේ ඉහ‍ට උඩින් කාක්කෙක්වත් ගියේ නෑ. කරදඩු දික්වේගෙන ආව ඒ කාලේ අතපයේ හිරි ඇරගන්න තමයි කොයි වෙලාවෙත් සූදානම. ඒ අස්සෙ අළුත් අත්දැකීම්. සිගරට්, අරක්කු... ආ, ඒ විතරක්ද ගංජා. මේ හැමදෙයක්ම කොල්ලෙක් හැටියට අත්හදාබලන්න තමයි උවමනාව. ඒ විතරක්ද? කෙල්ලෙක්.. ශිෂ්ඨ බසින් කියනවානම් විරුද්ධ ලිංගිකයෙක් හොය හොයා හිටිය කාලයක් ඒක. විෂය නිර්දේෂයනම් තිත්තම තිත්තයි. ගෙදරින් සල්ලි දුන්නු හින්ද පන්තිනම් ගියා. හැබැයි ඉස්කොලෙ ඇතුළෙ නරකම නරක ලේබලය වැදිල. ඒක දුකක් නෙවෙයි. ආඩම්බරයක්. ආඩම්බරකාර දඩබ්බරයෝ.

ටියුෂන් පන්තියේ හිටපු අහිංසකම කෙල්ල තමයි ඔයා. මට ඒ දවස්වල ඔයාව පෙනුනෙ ඒ විදිහට."අ‍ඩෝ, එකෙක්වත් මේකට බහින්නෙ නෑ හරිද? මේක මගේ." කෙරුමගෙ කීමට හැමෝම අවනත වුනා. හැබැයි ඔයා මේ වෙද්දිත් මෙලෝ දෙයක් දන්නෙ නැතුවයි හිටියේ. මම හරිද මන්දා. "මචං, රංගනය පැණියා. මිනිහා ශෂිකලා ළඟින් හෙල්ලෙන්නෙ නෑ." අතිජාත දකුණු අත කූඹියා.. දැම්ම මට පැමිණිල්ලක්. නඩු ඇහිල්ලක් නෑ. පන්තිය ඉවරවුන ගමන් මගේ සුරත ඉගිලිලා ගිහින් නැවතුනේ රංගනයගෙ කම්මුල මත. මමනම් එච්චරයි. හැබැයි මගේ යාළුවන්ගෙන් රංගනයට අම්බානක ලැබිල තිබුනා. ඒ කාලෙ ගුටිකෑවට‍ ඒක ඒ තරම් ලජ්ජාවක් නෙවෙයි. ඒ හින්දමද මන්දා, රංගනයත් ගුටිපූජාව කාලා කැපිලා ගියා.

අපිට තිබුනා තනියම පාඩම් කරන්න බැරි ලෙඩක්. ඒ හින්දා අපි හැමෝම පාඩම් කරන්න රෑට සෙට් වුනේ කුප්පියාගේ ගෙදරට. විශ්ව විද්‍යාලෙ යන්නනම් අදහසක් එතන හිටිය එකෙක්ටවත් තිබුනෙ නෑ. ඒක මහ කාලකන්ණිකමක්. ඒවයෙන් වැඩක් නෑ. ඔන්න අපි මුලින්ම කරන්නෙ පත්තුකරගන්නවා එක මලක්. ඒ දුමත් එක්ක අපේ නිර්මාණශීලී අදහස් පාවෙනවා. පට්ට. "ඔහොම ඉඳල හරියන්නෙ නෑ බන්. කෙලින්ම ඒකිගෙන් අහපන්. කෙල්ලො කැමතියි කෙලින් අහන උන්ට". ඒ අවවාදය අපේ සෙට් එකේ වැඩිපුරම කෙල්ලො සෙට්කරගත්තු රොමාගෙන්.

උපදෙස් මහ ඉහලින් පිළිගත්තු මමත් සෙට්වුනා පහුවදා උදේම, මගේ පෙම පවසන්න මගේ රන්කඳට. "ශෂී, පොඩ්ඩක් නවතින්න. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා". ඔයා නැවතුනා. මගේ හිතේ මලක් පිපුනා වගේ. " ඇයි සාලිය. මොකක්ද කියන්න තියෙන්නේ". ඔයා කවදත් වගේ අහින්සකව ඇහුවා. "ශෂී, මම ඔයාට ආදරෙයි" අනේ මන්ද ඒ වචන ටික කියන්න හයියක් කොහෙන් ආවද කියලා. කොහොම හරි කිව්වයි කියමුකෝ. මෙන්න කෙල්ලගෙ මූන කළු වුනා. ගත්ත පොත්ටික. දිවිව පන්තියෙන් එළියට. විලි ලජ්ජාවයි. මම මහා වැරදිකාරයෙක් වගේ හැඟුනා. "මම ආයෙ පන්ති යන්නෙ නෑ." මම කිව්වා. ඒ තීරණේම හිටියා. කාලය ගෙවිල ගියා. විභාගෙත් ඉවර වුනා. ඔයා ගොඩගිහින් තිබුනා. අපිගැන කියන්න ඕනෙ නෑනේ. මම ගමෙන් පිටවුනා. ආයෙ කවදාවත් අපි හමුවුනේ නෑ.

ඒත් අහම්බෙන් වගේ ගිය අවුරුද්දෙ අපි හම්බවුනා. දැන්නම් මම තනිවෙලා. මම කිව්වෙ යාළුවොත් දැන් පවුල් වෙලා. අපිට දැන් ජීවිතේ බර දැනෙනවා."ඉතිං කොහොමද?" ඔයා ඇහුවා."මම හොඳින්, ඔයාට කොහොමද?" මමත් ඇහුවා.
අහල නැවතුනේ නෑ."ඔයා බැඳලද?" මම ආයෙත් ඇහුවා. "නෑ, තවම නෑ. ඔයා?.." කාලය කෙතරම් නපුරුද සොඳුරිය. හදවත සින්නක්කරේටම දීල හෙටට අවුරුදු තුනයි. ඔයා හිස් සුසුමක් පිටකරා."සුබ පැතුම්." ඔයා අත දුන්නා. ඔය අත අරගන්න මම දඟලපු තරම මට සිහිවුනා. මම අතීතයට ගියා. "බඳින්නෙ නැද්ද, වයසත් දැන් හරි" මම හිනා වෙවී කිව්වා. " හ්ම්... එක්කෙනෙක් හිටිය කැම්පස් කාලෙ. ඒත් දැන් ඒක නෑ. අදහසකුත් නෑ සාලිය" ඔයා කඳුලට පෙම් බැඳලා. එදා කැමතිවුනානම් අද අපි දෙන්නම ගොඩ නේද කියල මම මුවින් නොදොඩා සිතින් කිවුවා. මම දන්නවා. ඔයාට ඒක තේරුනා. " මම ගිහින් එන්නම් සාලිය" ඔයා මට සමු දුන්නා. "ශෂී...." මම ආයෙත් ඔයාට කතාකරා. "නම්බර් එක දෙන්න. මම නිවාඩු වෙලාවක කතා කරන්නම්". ඔයා හිනාවුනා. ඒ හිනාව ඇතුලෙ බලාපොරොත්තුවක් තිබුනා. ඒත් ඒක කවදාවත් ඉටුවෙන එකක් නෙවෙයි ශෂී. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙන්නම්. ඔයා කවදහරි හොඳ කෙනෙක් හොයාගන්නකම් මම ඔයාව තනිකරන්නෙ නෑ. සමහරවිට මුළු ජීවිත කාලෙටම වුනත්.

Wednesday, October 5, 2011

දෙතිස් වධ...

අතීතයේ ලංකාවේ රාජ්යැ පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්යර පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත.

1. කසයෙන් පහරදීම
2. වේවැලෙන් හෝ පතුරකින් පහරදීම,
3. අත කැපීම,
4. පය කැපීම,
5. කන කැපීම,
6. අත්පා කැපීම,
7. නාසය කැපීම,
8. කන් සහ නාසා කැපීම,
9. ඇස් උගුලවා දැමීම,
10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
14. දිවැස් හුල හිඳවීම,
15. කඩුවෙන් හිස ගසා දැමීම,
16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
18. පැසුණු තෙල් වලින් නැහැවීම,
19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

මෙවැනි දඩුවම් ඉතා අමානුෂියයැයි ඇතම් විට සිතුනද, එවැනි දඩුවම් නොමැති කල සිදුවන ඇතැම් අපරාධ දැකීමෙන් මෙවැනි දඩුවම් තිබුනානම් යෙහෙකැයි කියන්නෝද සිටිති. කෙසේ නමුත් සංස්කෘතිය මඟින් හික්මනු නොහැකි වූ බොහෝදෙනා මෙවැනි දඩුවන් මඟින් හික්මවීම තුල එදා හෙළදිව අපරාධ බොහෝ දුරට අඩුකරගැනීමට පාලකයෝ සමත්ව සිට ඇත. සියොළඟ අබරණ දවටාගත් තරුණියකට තනිවම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යෑමට තරම් සුරක්ෂිතතාවත් ඇතිවීමට ආගමික සංස්කෘතික සාධක මෙන්ම මෙවැනි දැඩි දඩුවම්ද හේතුවන්නට ඇත.

ඇතින්නියේ...

ඇතින්නියේ උඹ වදපන්
සුදු දළ ඇති ඇත් පැටවෙක්
නෙළුම අරන් යන්න නොවෙයි
පෙරහැර දා දක්කන්නට...
දම්වැල් ගැන හිතනු එපා
ඒ පින් හිරකර බඳින්න
ඒ වගේද පිට උඩ ඇති
රැස් විහිදෙන මහ කරඩුව...
හෙණ්ඩු නිකම් තේජසේට
නැහැ අන්න්නේ උඹෙ පුතාට
දණ ගහලා කිරි වෙහෙරට
ඌ වඳීවි හැම උදේම...
සාදු සාදු හඩ නගාවි
සුදු ඇඳගත් හැමදෙනාම
උඩ ඇති කරඩුව දැක දැක
‍නොදැක පහල විලංගු ටික...

Thursday, September 29, 2011

මගේ ඡන්ද අයිතිය...

බැලූ විට කැඩපත
දුටිමි
ගොන්තඩියෙකු මම
අඩුවුනේ එහි මට
අං දෙකක් සහ වලිගෙ පමණය
දමා ඇත ඡන්දය
යළිත් බොරුකාරයෙකුට
කිසි දුකක් නෑ මට
ඒ මගේ
ඡන්ද අයිතිය...

ගැටළුවක්...

කොළොම්බස්
හොයාගත්තලු ගොඩබිමක්..
එතකොට
රතු ඉන්දියන්කාරයෝ
කලේ මොන ඉටිගෙඩියද
එහිසිට
කොළොම්බස්ගෙනෙ ගොඩබිම..

Thursday, September 15, 2011

පරතරය...

ඔය සඳළුතලයෙන්
එපිටට
යොමා නෙත
බලන නුඹ හ‍ට
පෙනුනේද සොඳුරිය
මා දිවිගෙවන
අසපුව...
ලෑලි පටි අතරින්
ලාම්පුව ජනිත කල
ඒ එළිය
හාත්පස ගනඳුර
තුලින් ඇවිදින්
ගැටුනේද
දෙනෙතට...
සුවිසල් මන්දිරේ
සේද තිරපට අතරින්
දැල්වෙන පහන් එළියෙන්
එළිය කරනා විලස
මගෙ සිත...
හැකිවෙයිද සොඳුරිය
එළිය කරනට ඔය සිත
කුප්පි ලාම්පුවකට
බොඳකරනවා මිස ඇස...

Tuesday, September 13, 2011

හිතයි මට...

තටු
සිහිනයක්
පමණද මට..
ඉගිල්ලෙන්නට
වෙරදරන
සිතකට,
උරුම
මහ පොළොව
පමණද..
හති වැටෙනතුරු
ඉගිල්ලෙන්නට
වරම් නැති විට..
හෙළකින් පහලට
පැන,
රක්තවන් රුධිරයෙන්
නැහැවුන
වත සතපවා
මිහිමත,
මියෙන්නට හිතයි
මට..
හාමතේ ඇදවැටී
මියැදෙන්න පෙර
හෙට...

Thursday, September 8, 2011

මහළු කවි සිත...

එකල...
සිතේ සිරවුන
දහස් සිතුවිලි
සර්බර් අවකාශයේ
බිත්ති මත
ලියූ සැනෙකින්..
වැටුනි
ලයික් එක පිට
ඉනික්බිත්තෙන්
දිගට හරහට
කොමෙන්ට් වැටුනා
මතකද...
ගෑස් ටික ගිය
සෝඩ බෝතලයක
ඉරණම
අත්වෙලා ඇත
උඹහ‍ට මෙන්ම
උඹගේ කවියට...
ඒත්
තවමත් ඉඳහිට
වැටෙනවා දුටුවිට
ලයික් එක දෙක
කලාතුරකින්
ලියන කවියට...
දිලිසුනා
නෙතු නොව
නෙතග ගුලිවුන
කඳුළු මිණි කැට
සිහිවෙලා පෙරදින...
අකලට මහළු වුන
ෆේස්බුක් කවි සිත
අතරමං වෙලා අද
හතරමං හන්දියක...

බඩ සහ හදවත

අනේ බඩ
උඹ නොහිටියානම්
හදවතට පහලින්
ලොකුවට...
මිනිස්කම හඳුනන
සැබෑ හදවත් ඇති
දැයක් බිහිවනු ඇත..
ඒත්
කරුමෙට
හදවත වගේ
කිහිප ගුණයක්
ලොකුවට
පිහිටලා උඹ
බඩ...

Monday, September 5, 2011

අතීතයට පිය නඟමු...

සත්සියයක් පිරිවර සමඟින් අඩක් හිස මුඩුකළ විජය ඇතුළු පිරිස තම්බපන්ණී වෙරළ තීරයට ගොඩබට පුවත අප කවුරුත් අසා ඇත්තෙමු. ඉනික්බ්තිව කුවේණී නම් යකින්නට පෙම් බැඳ ඇයව විවාහ කරගන්නා විජය, මෙරට රාජාවලියේ ආරම්භක රජු වශයෙන් සඳහන්කොට ඇත. විජය සමඟින් මෙරටට ආ අනුරාධ නම් ඇමතියා විසින් කොලොම්හොය හෙවත් වත්මන් මල්වතුඔය අසබඩ පිහිටවූ ජනාවාසය අනුරාධපුරය බව ඉතිහාසකතා සඳහන් කරයි. පසුගිය කාලය පුරාවටම මෙරට ජනා‍වාස ආරම්භය පිළිබඳ සම්මතය වූයේද එයයි.

පසුගිය දිනෙක ජාතික පුවත්පතකට ලිපියක් ලියමින්, අනුරාධපුර ජේතවන ව්යා පෘතියේ ප්ර්ධාන පර්යේෂණ නිළධාරී තුසිත මැන්දිස් මහතා පවසා සිටින්නේ විජයාගමනයට පෙර මෙරට ජනාවාස පැවති බව‍සට සාධක දැන් ලැබී ඇති බවය. ඒ අනුව අනුරාධපුර සහ අවට රතු දුඹුරු පාංශු කලාපයේ ප්රා‍ග් ඓතිහාසික අවධියට අයත් මධ්යල ශිලා යුගය නියෝජනය කළ බලංගොඩ මානවයා වාසය කල බව වාර්තා වී ඇති බව වාර්තා වී ඇත. එනම් විජයාගමනයට වසර 3400කට පෙර අනුරාධපුරයේ, මධ්යා ශිලා යුගය නියෝජනය කළ මානවයන් ජීවත්ව සිට ඇත.

තවද අදින් අවුරුදු 3000කට පෙර, එනම් ක්රිා.පූ. 1000 පමණ (විජයාගමනයට වසර 500 කට පෙර) පූර්ව ඓතිහාසික proto ජන කණ්ඩායම් අනුරාධපුරයේ වාසය කර ඇත. තවද ක්රි..පූ. 600-500 කාලයේ අක්ෂර කලාව ප්රtගුණ කල යකඩ යුගයේ ජන කණ්ඩායම් සිටි බවට ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දී ඇති බව මැන්දිස් මහතාගේ ලිපියේ සඳහන්ව ඇත.ජල කළමනාකරණය සිදුකරමින් කෘෂිකර්මාන්තයේ නියැලුන මෙම මිනිසුන් Oriza Zativa නැමැති වී වර්ගය තම පරිහරණයට වගාකර ඇති බවද මැන්දිස් මහතා සඳහන් කොට ඇත.

මේ වනවිටත් සිදුකෙරෙම්න් පවතින පූර්ව අනුරාපුර යුගය පිළිබඳ පර්යේෂණ සහ ඒවායේ ප්රමතිඵල සමඟින් ඔබ හමුවීමටත්, විද්වතුන් හමුවී ඔවුන්ගේ අදහස් සහ මතවාද විමසමින් අපේ ආදීතමයන් සොයා යන ගමනකට මුල පුරන්නටත් අපි අදහස්කරගෙන ඇත්තෙමු. නුදුරේ දිනෙක අරඹන ඒ සංචාරයට අප හා එක්වන්නට ඔබ සැමට ආරාධනා.
ඔබගේ අදහස් අපට ලියන්න (eranga.hemajith@gmail.com)

Monday, August 22, 2011

රහසක්

ඊයෙ හැන්දෑවෙ
විසේ ඇති ඌරෙක්
කොරටුවට ඇවිල්ලා
හාරලා හාරලා
වගාවම වනසලා..
මං යනව හේනට
අද රෑත් රන්කද
උඹට තනිනම්
වහන්නට එපා
මේ දොර පියන..
පුර හදත් නැති එකේ
මහ රෑට
තව එකෙක් එයි
උඹෙ පාළු මකන්නට..
හෙට උදේ පාන්දර
මං එනව
මට පස්සෙ ගෙට වදින
රන්වන් උදා ඉරට
දැනගන්න ඉඩ තියමු
ගෙයි හිටියෙ අපිම වග..
මං දස්ස ගොයියෙක්
වල් ඌරො හෑරුවත්
වගාවම
ඵලදාව හෙට අයිතිවෙන්නෙ මට..
බාගවිට
වැපිරුවෙ තල වුවත්
කුරහන්ය අස්වැන්න
කමක් නැත..

Monday, July 11, 2011

අද ඇයගෙ මධූසමය...

වහන් හිටි හෙළුව
මද අදුරෙ දිගහැර
සුදු සේල ඇතිරූ
යහන මත වැතිර
අවිනිශ්ච්තව හෙට ගැන
කන්‍යාවියක්
විවාහක හිමි එනතුරු...
අද ඇගේ මධුසමය
වලදමා පෙරදිනෙක
ඔහු සමග
මේ තානායමේ
මේ කාමරේ
තිර රෙදිවලින් වසා
හිරු කුමරුගේ ඇස්
ගතකළ සොදුරු
ආදර මතකය...

Thursday, June 23, 2011

කළ ගුණ...

කරල් කිරි වැද
බර ගොයම් ගස
කලල් මිහිකත
සිප වැළද‍ගෙන
පැවසුවා ආදරෙන්
නුඹයි මට
දුන්නෙ අත්වැල
වදන්නට
මේ දරු කැළ..

සොරාගෙන ආදරය...

සියපත
සුවද විහිදා
බලා සිටියාය
විල මැද
එනතුරා
උදෑසන හිරු රැස..
ඒ අතර
කොහේදෝ සිට
ආව බමරෙක්
රොන් සොරාගෙන
මල රවටගෙන..
එබමර සොර
වින්ද ඒ සුව
‍නුදුටුවේම ද
නුදුටු විලසට සිටියේ ද
ඉර නුඹ...

Thursday, June 2, 2011

වැස්ස සහ මම...

මම ජැක්,
බෝංචි ඇටයක් දෙකක්
හිටවලා
වැල හැදෙනකම් බලා සිටි...
රත්තරං බිජු දාන
කිකිළියක්
කෙකර ගානව ඇහුන
මට නිතර...
ඊයෙ රෑ නින්දෙන්ම
මම ගියා
බාගයක් දුර
වැල දිගේ...
සීතලයි වළාකුළු ළංවෙද්දි.
ඇහැරිලා බලද්දි
වහිනවා
හෙණ ගගහා...
වසා කවුළුව
මම ගියා නින්දට.
එළිවෙලා බලද්දී
යටවෙලා කොරටුවම...
නගින්නට තියා
දැන් මට
එල්ලෙන්නවත් වැල් නැත...
නිසා මේ ගංවතුර.

Thursday, May 26, 2011

සිහිනයක්....

කිරිල්ලියට තටු ලැබිලා
අහස පුරා පියාඹනව
උකුසු රැළක් ඈත ඉදන්
කිරිල්ලිය‍ට මානනවා
හති වැටෙයිද තටු රිදෙයිද
නිල් අහසට දුක හිතුනා
සිනිදු වළාකුලක හොවා
කිරිල්ලියව සතපනවා

මවකගේ පැතුම..

පොඩි පුතේ නැගිටපන්
කෝච්චිය දැන් ගියා
මූණ කට හෝදගෙන
කහට උගුරක් බීලා
මම හදපු කෑම ටික
තේ කඩෙන් තියාපන්
හැන්දෑවෙ මම ගිහින්
සල්ලි ටික ගේන්නම්
මයෙ පුතා ඉස්කෝලෙ
ගිහින් ලොව දිනාපන්

Tuesday, May 24, 2011

ඇගෙ පැතුම...

පින්බරයි හැන්දෑව
එකෙක් හරි ආවනම්..
ඒත් කොහෙ ලගින්නද
හැමතැනම පොලීසිය..
රටට පින් කරන්නට
පව්කාර අපි ඉතිං
බඩගින්නෙ වේලෙනව..
ඉන්මනින් අමාවක
ආවනම් හරි හොදයි
හැමතැනම කළුවරනෙ..
මහ මගට එළිය දෙන
ලයිට් කණු වගේ අපිත්
සැප සොයා ඉගිල්ලෙන
උන්ට සැප බෙදනවා..
ඒක වරදක්ද
එහි වරද මට පහදන්න
වරද මගෙ විතරක්ද
පිරිමි තනිකර සුදුද...

Monday, May 23, 2011

මල් සහ අපි..

මේ මල් පිපෙන්නේ
සුවද හමන්නයි
බමරු ඇදෙන්නේ
ඒ සුවද විදින්නයි
කවි පබදින්නේ
ඒ රසය කියන්නයි
ඒ කවි කියවා
උමතු නොවන්නයි...

පාට පාට මල් සුවද හමනවා
ඒ අතරේ විස මල් ද තියෙනවා
මලට පෙම් බදින බමරු නැහෙනවා
සමහර බමරුන් මල වනසනවා...

මලට සමයි නුඹ රුවැති ළදුන්නේ
බමරු සමයි නුඹ පෙම් කුමරුන්නේ
මල් සහ බමරුන් අතර තියෙන්නේ
නුඹ හැමගේ පෙම් කතන්දරේ නේ...

Sunday, May 15, 2011

සම්බුද්ධත්ව ජයන්තිය...

සිතන්නට සිතක් නැති
කූඩු ඇත ලෙලදෙමින්
මද සුළගෙ පහස ලැබ
රැළි සැලෙයි
සිලි හඩින්...
සසර බන්ධන නසා
ලැබූ උතුම් බුදු පදවි
තිලෝඅග සම්බුද්ධ
දහම ඇත වැනසෙමින්...
පිළිවෙතින් පෙළගැසී
සුදුවතින් සැරසිලා
කළු දුදන උපාසක
පන්සලට ඇවිල්ලා
හැමදාම සිල්ගන්න
උපාසක විසිවෙලා
බුදු දහමෙ රන් කිරුළ
දුදන හිස වැජඹෙනා...
පිරිත් පොත් පිටු අතර
මොනර කොළ හිරවෙලා
කසාවත බොහෝවිට
වැරදි අය පොරවලා
රටේ පොදු මාධ්‍යය
සෝවාන් ඵල ලබා
සම්බුද්ධ ජයන්තිය
මගුල් දිනයක් වෙලා...

Thursday, May 5, 2011

පොඩි කෙලී ලොකු වෙලා..

වත්තෙ ගස්
තනිවෙලා
ගෙයි මිදුල
ලොකු වෙලා
මිදුලෙ ඉඩ
වැඩිවෙලා
බලු පැටවු
තනි වෙලා
ගෙයි පුරා
දුව පැනපු
දග කරපු
පොඩි කෙලි
ලොකු වෙලා
ගෙට වෙලා
හෙට මගුල
වරෙල්ලා...

දෙපැත්ත

ජීවිතය
ජයගත්තු
ආදරය
හිගාකන
පෝසත්තු...
ආදරය
ජයගත්තු
ජීවිතය
හිගාකන
‍දුප්පත්තු...

ආදරය ගැන ..

ආදරය
හරි ලස්සනයි,
අකුරු හතරයි...
හදවත
කිලිපොලයි...
නැති උන්ට
තනිකමයි,
ඇති උන්ට
සැනසුමයි...
ළගම මිතුරා
වෛරයයි...

Tuesday, May 3, 2011

මොඩර්න් ගජමන්...

ඇලපාත ඩාලිං
ඔයා දැන් වෙරි බිසිද
අද රෑට සෙට් වෙමුද
දෙනිපිටියෙ ක්ලබ් එකට
අලිනම් නෑ මෙයා
ළගපාත කැලෑවල
වෙපන් එක වැඩක් නැහැ
ප්ලැටුන් එක ඉන්නකොට
හන්දියේ පොඩි එකෙක්
වල් කතාවක් කිව්ව
එකෙක් දෙන්නෙක් යවල
කඩමු දත් දෙකතුනක්
ළගදි ගත් ෆැක්ටරිය
පාඩු පිට පාඩුමයි
සභාවෙන් ඕඩරය
දෙන්නෙ මට කවදාද
මේ වගේ සුබ කතා
දුරකතනයෙන් මොටද
එක රැයක සැතපිලා
විසදමුද මේ අවුල...

Wednesday, April 27, 2011

පුන් පොහොය අතළග

අහස නුඹ
කළු කරන් වත
අමනාපයෙන්වත් ද
හිරු කුමරු සමග...
අවසරයි කියන්නට
සීතලයි වටපිට
උඹෙ කදුළු වැටිලාම
ගංවතුර දැන් මෙහෙට...
අලුත් අවුරුදු දවසේ
පිටුපෑව හිරු කුමරුට
යන්න ඉඩහැර
පෙම් බදිනු මැන
වෙසක් පසළොස්වක සදට...
සංසාර පුරුද්දට
සුදුවතින් සැරසිලා
සදකිරණෙ නැහැවෙන්න
කැමති අපි හැමෝටම...
ඉඩදියන්,
කළු වළා ඉවත්කර
සුපුන් සද දැකගන්න.

Tuesday, April 26, 2011

සිරකාරී...

හිතේ දුක වැඩිවෙලා
නිල් නුවන් අගිස්සෙන්
කදුළු බිදු වැටෙනවා
ගිණිගහන මිහිකතට..
තල් අරඹ කෙළවරේ
කලපුවේ වැලිතලේ
අහිමි උන් සිහිවෙලා
තනිකඩ මුවැත්තියට..
මුහුදු හුළගට දිරන
වෙඩි උණ්ඩ කොපු අතර
වළදැමූ ආදරය
ගොඩගන්න වෙරදරන..
සිරකාර හදවතට
හිසට ඉහළින් පෙනෙන
සුදුපාට පරෙවියන්
කුමට නිදහස නැතිව..

Monday, April 18, 2011

මහළු කවියා ...

වෙවිලන දෑගිලි
වෙර දරයි
රදවගන්නට
පන්හිද..
මහළු නොවූ
සිත
අමුණන පදවැල්
අකුරු කරන්නට
අතට වාරු නැත..
ගිමන නිවන
සුසානය
පෙනී පෙනී
ජීවිත ගමන කෙළවර..
කවියෙක්
පෙම් බදිනවා
මරණයට සහ කවියට..

Monday, April 11, 2011

ගමට අවුරුදු...

රජරට රැජිණිය
ගන්න මා
ඔබ තුරුළට
කළු දුමෙන් තොර
නිසසල
මගේ ගම වෙත
ගෙනයන්න මා
විගහට..
රන්වන් කරල් එකමත
එක තබා ඇත කමතක
ඉපනැල්ල සිප මදනල
සනසවයි මා
ගත සිත..
කොළඹින් ගත්තු
සේරම
‍ගුලි වෙලා ඇත
මලු තුල
අවුරුද්ද අද හෙට එන
ගමට පමණයි
නොමැත කොළඹට..

Tuesday, March 22, 2011

පොඩි රහසක්..

සේදිරිස් මාමේ,
උඹ තුන්කුදෑනියි..
මේ වෙස් තට්ටුවත්
උඹට දැන්
බර වැඩියි..
රැජිණ ඉදිරියෙ නැටූ
උඹේ කෙළි අහවරයි
පෙරහැරේ නටන්නේ
දැන් මමයි ගෝලයොයි..
සරසවියෙ මා ලැබූ
උපාධිය නැටුමටයි..
එහි උපත සහ වැඩුම
උගත්තේ මං තමයි..
ඒත් අම්මප මාමේ
කියන්නේ සත්තමයි..
ගෝලයින් නැති තැනදි
තවම දස්සය උඹයි..

Monday, March 21, 2011

මතු සම්බන්ධයි...

මේ ගලායන
ගං දිය,
මහ සයුරට
පවසාවි,
මා නුඹට
ආදරේ කී වග....
නුඹේ අවසන් සුසුම්
ගිලිහෙන්න,
මොහොතකට පෙර,
ළය පලා
මතුවූ
රුධිරයෙන්,
තැබූ වග තිලකය
මගේ නළලත මත...
මධු සමය අහිමිවම
වැන්දඹුව වූ මම,
රකින්නම් පතිදම
මගේ පණ සේ ගෙන...
එහෙත්,
උන් එනව
මාව ඩැහැගෙන යන්න...
මදක් නවතින්න,
නුඹේ ළය විනිවිද
ගිය රිදීවන් පිහිතුඩ
සිසිලසයි මට
මගේ හදවතටද...
දැන් හරිම නිසලයි
ආත්මය සසලයි
ආදරය අබියස
උන්ගෙ බල අවමයි...
අපි මැරිලා,
ඔව්, උන් දෙන්නම මැරිලා...
අපි යමු.

Wednesday, March 9, 2011

Wednesday, February 9, 2011

Monday, February 7, 2011