Thursday, October 6, 2011

අතීතයෙන්...

‍ඔන්න ඒ අපේ ඉහ නිකට පිරෙන්න පටන්ගත්ත කාලේ. දැළි රැවුල කපාගත්තු අපිට ලෝකෙම අපිට ඉහලින් එකෙක් හිටියෙ නැති තරම්. කොටින්ම කියනවනම් අපි තමයි කෙරුමෝ. අපේ ඉහ‍ට උඩින් කාක්කෙක්වත් ගියේ නෑ. කරදඩු දික්වේගෙන ආව ඒ කාලේ අතපයේ හිරි ඇරගන්න තමයි කොයි වෙලාවෙත් සූදානම. ඒ අස්සෙ අළුත් අත්දැකීම්. සිගරට්, අරක්කු... ආ, ඒ විතරක්ද ගංජා. මේ හැමදෙයක්ම කොල්ලෙක් හැටියට අත්හදාබලන්න තමයි උවමනාව. ඒ විතරක්ද? කෙල්ලෙක්.. ශිෂ්ඨ බසින් කියනවානම් විරුද්ධ ලිංගිකයෙක් හොය හොයා හිටිය කාලයක් ඒක. විෂය නිර්දේෂයනම් තිත්තම තිත්තයි. ගෙදරින් සල්ලි දුන්නු හින්ද පන්තිනම් ගියා. හැබැයි ඉස්කොලෙ ඇතුළෙ නරකම නරක ලේබලය වැදිල. ඒක දුකක් නෙවෙයි. ආඩම්බරයක්. ආඩම්බරකාර දඩබ්බරයෝ.

ටියුෂන් පන්තියේ හිටපු අහිංසකම කෙල්ල තමයි ඔයා. මට ඒ දවස්වල ඔයාව පෙනුනෙ ඒ විදිහට."අ‍ඩෝ, එකෙක්වත් මේකට බහින්නෙ නෑ හරිද? මේක මගේ." කෙරුමගෙ කීමට හැමෝම අවනත වුනා. හැබැයි ඔයා මේ වෙද්දිත් මෙලෝ දෙයක් දන්නෙ නැතුවයි හිටියේ. මම හරිද මන්දා. "මචං, රංගනය පැණියා. මිනිහා ශෂිකලා ළඟින් හෙල්ලෙන්නෙ නෑ." අතිජාත දකුණු අත කූඹියා.. දැම්ම මට පැමිණිල්ලක්. නඩු ඇහිල්ලක් නෑ. පන්තිය ඉවරවුන ගමන් මගේ සුරත ඉගිලිලා ගිහින් නැවතුනේ රංගනයගෙ කම්මුල මත. මමනම් එච්චරයි. හැබැයි මගේ යාළුවන්ගෙන් රංගනයට අම්බානක ලැබිල තිබුනා. ඒ කාලෙ ගුටිකෑවට‍ ඒක ඒ තරම් ලජ්ජාවක් නෙවෙයි. ඒ හින්දමද මන්දා, රංගනයත් ගුටිපූජාව කාලා කැපිලා ගියා.

අපිට තිබුනා තනියම පාඩම් කරන්න බැරි ලෙඩක්. ඒ හින්දා අපි හැමෝම පාඩම් කරන්න රෑට සෙට් වුනේ කුප්පියාගේ ගෙදරට. විශ්ව විද්‍යාලෙ යන්නනම් අදහසක් එතන හිටිය එකෙක්ටවත් තිබුනෙ නෑ. ඒක මහ කාලකන්ණිකමක්. ඒවයෙන් වැඩක් නෑ. ඔන්න අපි මුලින්ම කරන්නෙ පත්තුකරගන්නවා එක මලක්. ඒ දුමත් එක්ක අපේ නිර්මාණශීලී අදහස් පාවෙනවා. පට්ට. "ඔහොම ඉඳල හරියන්නෙ නෑ බන්. කෙලින්ම ඒකිගෙන් අහපන්. කෙල්ලො කැමතියි කෙලින් අහන උන්ට". ඒ අවවාදය අපේ සෙට් එකේ වැඩිපුරම කෙල්ලො සෙට්කරගත්තු රොමාගෙන්.

උපදෙස් මහ ඉහලින් පිළිගත්තු මමත් සෙට්වුනා පහුවදා උදේම, මගේ පෙම පවසන්න මගේ රන්කඳට. "ශෂී, පොඩ්ඩක් නවතින්න. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා". ඔයා නැවතුනා. මගේ හිතේ මලක් පිපුනා වගේ. " ඇයි සාලිය. මොකක්ද කියන්න තියෙන්නේ". ඔයා කවදත් වගේ අහින්සකව ඇහුවා. "ශෂී, මම ඔයාට ආදරෙයි" අනේ මන්ද ඒ වචන ටික කියන්න හයියක් කොහෙන් ආවද කියලා. කොහොම හරි කිව්වයි කියමුකෝ. මෙන්න කෙල්ලගෙ මූන කළු වුනා. ගත්ත පොත්ටික. දිවිව පන්තියෙන් එළියට. විලි ලජ්ජාවයි. මම මහා වැරදිකාරයෙක් වගේ හැඟුනා. "මම ආයෙ පන්ති යන්නෙ නෑ." මම කිව්වා. ඒ තීරණේම හිටියා. කාලය ගෙවිල ගියා. විභාගෙත් ඉවර වුනා. ඔයා ගොඩගිහින් තිබුනා. අපිගැන කියන්න ඕනෙ නෑනේ. මම ගමෙන් පිටවුනා. ආයෙ කවදාවත් අපි හමුවුනේ නෑ.

ඒත් අහම්බෙන් වගේ ගිය අවුරුද්දෙ අපි හම්බවුනා. දැන්නම් මම තනිවෙලා. මම කිව්වෙ යාළුවොත් දැන් පවුල් වෙලා. අපිට දැන් ජීවිතේ බර දැනෙනවා."ඉතිං කොහොමද?" ඔයා ඇහුවා."මම හොඳින්, ඔයාට කොහොමද?" මමත් ඇහුවා.
අහල නැවතුනේ නෑ."ඔයා බැඳලද?" මම ආයෙත් ඇහුවා. "නෑ, තවම නෑ. ඔයා?.." කාලය කෙතරම් නපුරුද සොඳුරිය. හදවත සින්නක්කරේටම දීල හෙටට අවුරුදු තුනයි. ඔයා හිස් සුසුමක් පිටකරා."සුබ පැතුම්." ඔයා අත දුන්නා. ඔය අත අරගන්න මම දඟලපු තරම මට සිහිවුනා. මම අතීතයට ගියා. "බඳින්නෙ නැද්ද, වයසත් දැන් හරි" මම හිනා වෙවී කිව්වා. " හ්ම්... එක්කෙනෙක් හිටිය කැම්පස් කාලෙ. ඒත් දැන් ඒක නෑ. අදහසකුත් නෑ සාලිය" ඔයා කඳුලට පෙම් බැඳලා. එදා කැමතිවුනානම් අද අපි දෙන්නම ගොඩ නේද කියල මම මුවින් නොදොඩා සිතින් කිවුවා. මම දන්නවා. ඔයාට ඒක තේරුනා. " මම ගිහින් එන්නම් සාලිය" ඔයා මට සමු දුන්නා. "ශෂී...." මම ආයෙත් ඔයාට කතාකරා. "නම්බර් එක දෙන්න. මම නිවාඩු වෙලාවක කතා කරන්නම්". ඔයා හිනාවුනා. ඒ හිනාව ඇතුලෙ බලාපොරොත්තුවක් තිබුනා. ඒත් ඒක කවදාවත් ඉටුවෙන එකක් නෙවෙයි ශෂී. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙන්නම්. ඔයා කවදහරි හොඳ කෙනෙක් හොයාගන්නකම් මම ඔයාව තනිකරන්නෙ නෑ. සමහරවිට මුළු ජීවිත කාලෙටම වුනත්.

No comments:

Post a Comment