Monday, March 3, 2014

ඡන්ද ඉල්ලීමක්



සිනා නුඹේ මට මතකයි
පෝස්ටරේ තිබුනා
ගෙදර ආව වෙලාවෙ මම
යාන්තමින් දුටුවා
නුඹ වටේට කැහැටු ගැහුනු
ගමේ එවුන් හිටියා
නුඹ විතරක් ඉරක් වගේ
තේජසේට දිලුනා
හැන්දෑවට පන්සලේදි
පූජාවක් තියලා
හාමුදුරුවො එයා ගානෙ
ජන රැළියක් දුන්නා
අණ්ඩ දාපු සරම් ඇඳන්
අපිත් කතිර ගැහුවා
යන්ඩ කළින් නුඹ ආයෙත්
අපිට අතක් වැනුවා
ගිය ඡන්දෙන් පසුව දැකපු
මගෙ උත්තම මුනිඳු
අපි දෙනවා මෙදා සැරෙත්
අං එන්නට පළමු
අපේ සැපත් අරන් යෙහෙන්
වැජඹෙන්නයි මුනිඳු
අපිටත් හැකිනම් පොඩ්ඩක්
සලකනු මැන නිරිඳු

කාන්තාරයේ කඳුළට

රෑන ගිරව්
රන් කරලට ආල වඩද්දී
හීන අරන්
නුඹෙ උකුළට ආව සිඟිත්තී
ගීත නොදත්
රළු දෑතක අද නැළවෙද්දී
මරු කතරක
කාසි හොයන මගේ දිළින්දී

කඳුළු වලින්
වැලි කතරේ වැවක් තනද්දී
මිරිඟුව අද
මගේ හිතේ නුඹව මවද්දී
සිඟිති දෝණි
පන් පැදුරේ හීන දකිද්දී
නුඹ නැති
පැල්පත අඳුරුයි මද්දහනේදී

කාසි කුමට
ජීවිත ඇපයකට තියෙද්දී
සතුට කොයිද
නුඹ ඇඳටම වී යළි එද්දී
එන කන්නෙට
යාය මඬිමු අඬහැර මැද්දේ
යළිත් වරෙන්
මගේ රටට මගේ සිඟිත්තී

ඉඩෝරයේ වැළපිල්ල

හිනැහෙයන් බිසව්නේ
උඩඟුකම් දුරලා
මිනිසුන් හඩන්නේ
පැන් පොදක් ඉල්ලා
හිරු වසාපන්නේ
මේඝ සළු එලලා
කඳුළු හෙලපන්නේ
මිහිකතම සනහා

ගොවි පුතු මියෙන්නේ
යාය මියැදුනු නිසා
ගෙවිළියන් හඬන්නේ
උකුළ හිස් වුනු නිසා
පොඩි එවුන් අඬන්නේ
අටුව හිස්වුනු නිසා
එළදෙනුන් හඬන්නේ
තණ යාය මුඩු නිසා

එක පැයක් හඬාපන්
වැව එයින් පිරෙනවා
තව පැයක් හඬාපන්
යාය පණ ගහනවා
මුළු දවස හඬාපන්
ගම සිනහ නඟනවා
එය බලා හිනැහියන්
නුඹට පින් ලැබෙනවා

ගැත්තාගේ ගීතය

මිටියාවත් පමණි වතුරෙන් පෙළෙන්නේ
කඳුගැට හැමදාම වතුරෙන් රැකෙන්නේ
හිරු හැමදාම කඳුගැටයයි සිඹින්නේ
මිටියාවත් කැකුළු උපතෙම මියෙන්නේ

පුවක් ගෙඩි පමණි ගිරයෙන් කැපෙන්නේ
පුවක් කවදාද ගිරයක් තලන්නේ
විටක් වී වුවත් යළි යළි තැලෙන්නේ
පුවක හැමදාම ඇයි දුක් විඳින්නේ

කොඳු ඇට නැවෙනවා අග හිඟ ආ දාට
නැවුනු කොඳු කෙලෙස හිස බර දරාවිද
හිස බර නිසා සැතපෙන්නට හිතයි මට
සැතපෙන ඇසිල්ලට හිතගොස් හැතැප්මක

අනේ කුවේණි

කුවේණියේ නුඹ
මායම්
හැටහතරක් එකට අරන්
හිසින් අඩක්
මුඩුකර ආ
විජය
වසඟයට ගත්තත්
උපන් බිමෙන්
සුර අඟනක්
අරන් ඇවිත්
එක දවසක්
දරු දෙදෙනා සමඟ
නුඹත්
එළවන්නට හත් ගව්වක්
විජය ගත්තෙ විනාඩියක්
සහ
තප්පර දෙකක් තුනක්

සොඳුරු පා පහරක්


පැය  ගනනක් පුරා
එක දිගට
දරා සිටියෙන්
දහස් ගනනක්
පා යුග...
විඩා බරව උන්
පදික වේදිකාවට
මා තබන විට
පියවර...
සවිවර නොකර
මෑතකදි එහි ඉන්දුව
ගල් කැට,
අසමබර කර
මා ගත...
සැලසුවා මට
වැතිරගන්නට
ඈ මත...
බෝ දුර නිසා නිවසට
වැතිරුනෙමි මම ඇය මත
ඉවසගෙන
වේදනා මා ලද...
කෑවනම් බීවනම්
ගෙදර පල කියාගෙන
එහි පැමිණුන
කාකි ඇඳුමක කෙළවර
යසට වැජඹුන මිරිවැඩි
සිපගෙන මා මුව
කරගත්තේය සපථ
මාද මිනිසෙක් වන බවට
රතුපාට ලේ ගලන...

Sunday, February 9, 2014

හැරදා ගියත් මා එන්නම්...



රජරට රැජිණිය මා ගෙන යනවද
ඇය මා හැරගිය කොළාම් තොටට හෙට
බලාපොරොත්තුවෙ සුවඳ දැනෙන්නට
අවසන් පණ නළ යන්නට පළමුව

ජීවිතයට හිමි කඳුළම අරගෙන
ගෙත්තම් කරන ඇගේ ජීවිතයට
කඳුළු පිසදමා සිනා ගෙනෙන්නට
ඉදිකටු තුඩට වඩා පුළුවන් මට

කුවේණියනි ලංකාපුර රජවුන
කිමද ගියේ අතහැර සිය පරපුර
තනිකම දැනෙනවනම් රජු නැතිවිට
මම ළඟ ඉන්නම් කඳුළු පිසින්නට

Tuesday, January 14, 2014

තිස් එක මගේ ඇසින්

සමරන්න හේතුවක් මිස
හෙට කොයිද
නව ඉරක්..
අද වගෙම තව දිනක්
තිස් එකට තව එකක්
අතේ ඇති තුට්ටුවට
කෙළවන්න හේතුවක්..
හදාගෙන අපිම අද
අපිට විකිණෙන රටක්
මුදල් දී ගන්නවා
සතුට සැනසුම ටිකක්..
මල්වෙඩිල්ලක් වගේ
පණ තියෙන ජීවිතත්
පහු දිනට අමතකයි
වෙඩිල්ලත් ඒ හඬත්..
අපි යළිත් දුවනවා
සමරන්න තව දිනක්
සොයන්නට හේතුවක්
සමඟ කහවනු ටිකක්...
ඔබ සැමට සුබ නව වසරක්!