Wednesday, April 27, 2011

පුන් පොහොය අතළග

අහස නුඹ
කළු කරන් වත
අමනාපයෙන්වත් ද
හිරු කුමරු සමග...
අවසරයි කියන්නට
සීතලයි වටපිට
උඹෙ කදුළු වැටිලාම
ගංවතුර දැන් මෙහෙට...
අලුත් අවුරුදු දවසේ
පිටුපෑව හිරු කුමරුට
යන්න ඉඩහැර
පෙම් බදිනු මැන
වෙසක් පසළොස්වක සදට...
සංසාර පුරුද්දට
සුදුවතින් සැරසිලා
සදකිරණෙ නැහැවෙන්න
කැමති අපි හැමෝටම...
ඉඩදියන්,
කළු වළා ඉවත්කර
සුපුන් සද දැකගන්න.

Tuesday, April 26, 2011

සිරකාරී...

හිතේ දුක වැඩිවෙලා
නිල් නුවන් අගිස්සෙන්
කදුළු බිදු වැටෙනවා
ගිණිගහන මිහිකතට..
තල් අරඹ කෙළවරේ
කලපුවේ වැලිතලේ
අහිමි උන් සිහිවෙලා
තනිකඩ මුවැත්තියට..
මුහුදු හුළගට දිරන
වෙඩි උණ්ඩ කොපු අතර
වළදැමූ ආදරය
ගොඩගන්න වෙරදරන..
සිරකාර හදවතට
හිසට ඉහළින් පෙනෙන
සුදුපාට පරෙවියන්
කුමට නිදහස නැතිව..

Monday, April 18, 2011

මහළු කවියා ...

වෙවිලන දෑගිලි
වෙර දරයි
රදවගන්නට
පන්හිද..
මහළු නොවූ
සිත
අමුණන පදවැල්
අකුරු කරන්නට
අතට වාරු නැත..
ගිමන නිවන
සුසානය
පෙනී පෙනී
ජීවිත ගමන කෙළවර..
කවියෙක්
පෙම් බදිනවා
මරණයට සහ කවියට..

Monday, April 11, 2011

ගමට අවුරුදු...

රජරට රැජිණිය
ගන්න මා
ඔබ තුරුළට
කළු දුමෙන් තොර
නිසසල
මගේ ගම වෙත
ගෙනයන්න මා
විගහට..
රන්වන් කරල් එකමත
එක තබා ඇත කමතක
ඉපනැල්ල සිප මදනල
සනසවයි මා
ගත සිත..
කොළඹින් ගත්තු
සේරම
‍ගුලි වෙලා ඇත
මලු තුල
අවුරුද්ද අද හෙට එන
ගමට පමණයි
නොමැත කොළඹට..