Monday, October 8, 2012

අඩු මිලට මගෙ ළඟට



අඩුම මුදලට විකිණෙන
ලුහුඬු දැන්වීම
කුමන අඩුපාඩුද
පමණ සහ හැඩ හුරුව හැරුණම
ඒ නිසා නුඹ මට
සෑහේවි මගෙ අවැසිතාවට
අතේ ඇති මුදලට
කුමට ගනිමුද
වර්ණ පිරි ඉඩ

Saturday, June 9, 2012

වැද්දා

මම වැද්දෙක්ලු
මී වදයක්වත්
කඩල නැති..
කී නුඹ කුමරියක්
කඩු දෙකතුනක්
දීගත්තු..

‍හදවතේ පැතුමක්

භවෙන් භවයට
පතාගෙන ආ
සොඳුරු එක හදවතක්
නමින් ඉපැදුන
සොඳුරු හැඟුමක්
අකුරු වුන මොහොතක්
ලොවක් නිදනා
සඳුත් සැඟවුන
අමාවක පෝයක්
මගේ තනියට මා ළඟින් සිටි
තරුවකට කීවත්

හදේ ගැඹුරුම තැනෙක ඉපැදුන
ඒ සොඳුරු හැඟුමන්
පන්හි‍ඳේ තුඩගේ දැවටිලා
ලියූ එක් ගීයක්
සත්සරට ආරාධනා කර
තනුව අහිමි වුනත්
ඉකිබිඳුමකට ඉඩක් නොතියා
තරුව ළඟ උන්නත්

එන්න සුහදිනියේ ගයන්නට
ආදරේ ගීයක්
පුන්සඳක් වන් නූඹ අසල නෑ
මට මාසෙ පෝයක්
ඉකිබිඳුමකට නොදී අවසර
මුමුණමුද මොහොතක්
තරු කුමට මට අහිමි වුව සඳ
යළි එනව පෝයක්

Thursday, June 7, 2012

එපා විකුණන්න දසිස් රාවණ...

අපේකම, මගේකම ඉස්මතු වන්නට පටන් අරන් වැඩිකාලයක් නෑ. පාසැල් ඉතිහාසයට උගත් අපේ පළමු මහරජු විජය. අනේ සංසාරේ.... යන එන මං නෑ. අබා සිනමා කරළියට පිවිසෙන්නෙ විජයට මරණ සහතිකය ලියාගෙනමයි. ඔන්න අපි පටන් ගත්තා අපි ඉන්දීය සම්භවයක් ඇති විජයගේ උන් නෙවෙයි, අපි මේ ලංකාවෙ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අබාගෙ කට්ටිය කියල කියන්න. ඒ අනුව අබාට උප්පැන්න සහතික හැදුවෙත් අපිමයි. උතුරෙ යුද්දෙත් ජයටම කෙරුණ කාලෙ. ඉතිං අපේ කමට මාර ප්ලේස්. සුදුවතට කහ වතට ගරු නම්බු. ගමේ උපාසකලට නම් උණ බම්බු. කමක් නෑ කියමුකො. අපි එහෙම ලේසියෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඉතිහාසෙ දිග මදි වගේ දැනුනා. අල්ලගත්ත රාවණාවත්. දැන් පුළුවන්නම් එකෙක් හරි කියපල්ලකො උන්ගෙ ඉතිහාසෙ අපටත් එහා කියල.

කවුද මේ රාවණා? උත්තර දෙන්න අය පෝළිමේ එයි. අපිට ආඩම්බරයක් රාවණා. ඒත් හදිසියේ මතුවෙලා එන මේ රාවණා උන්මාදය ඒ සැබෑ රාවණා වෙනුවෙන්ම නැගෙන හඩක්ද කියල පුංචි හරි සැකයක් ඇතිවෙනව. හරිහැටි හොයල බැලුවොත්, එකම කරුණු ටික අරහෙට මෙහෙට පෙරල පෙරල ඉන්නෙ නැතුව මේ දේවල් ඔප්පුකරල පේන්නන්න මඟක්වත් හදන්නෙ නෑ මේ රාවණා පැටව්. බොහෝ කලකට පෙර මෙහිම විසූ මහා තේජස් දසිස් රාවණා නිරිඳුන්ටත් නිගාවක් මේ දෙවල්. අරහෙන් මෙහෙන් අහුලගත්තු මැජික් කෑලි පෙන්නලා මේව රාවණාගෙ වැඩ කියල බඩගෝස්තරේ හොයාගන්න දඟලන්නෙ නැතුව සැබෑ රාවණා උරුමය සොයා යන්න. හැකිනම් පෙන්වන්න ලොවටම රාවණා අනුහස. එයට අපගේ හදපිරි සුබපැතුම් සහ ආශිර්වාදය. රාවණා නිරිඳුන්ගේ නම ඈඳාගෙන ජයටම කෙරෙන ජෝතිෂ්‍ය කටයුතු, අංගම්පොර, හෙළ වෙදකම් ඇතුළු පුංචි පුංචි බොරු සහ ඒ බොරු පවත්වාගෙන යන සහෘදයණි. තවත් රවටන්න එපා මේ රටේ කිසිවක් නොදන්නා අහිංසකයින්. අපි කවුරුත් ආඩම්බරයෙන් අපි රාවණාගේ දරුවෝ කියන්න සූදානම්. ඔබ සතුව සැබෑ ශිල්ප තිබේනම් මේ ව්‍යාජ රැවටිලිකාරයන් අතරින් සැබෑව ඉස්මතු කරවන්න කාලයයි මේ.

Thursday, May 24, 2012

මරණීය රමණය

ඝණ අන්ධකාරේ
සීතලට සිත ගුලිවේ...
කිරිකිරිය සයනේ
එකෙකු දඟලන
බවකි කීවේ...
නිහඩ බව බිඳලා
මූසල බකුසු හඩදේ...
කදෝපැණි එළියෙන්
සැලෙන රූ මට දිස්වේ...
සියළු දුක් දුරලා
සුරසැප සොයන මිනිසා...
නාදුනන ඇය තුරුලේ
මරණීය රමණයේ යෙදුනේ...

Thursday, April 19, 2012

ඔහු එනතුරු මම ඉන්නම්. (I'll Wait till he comes)

වත්සුනු දියවෙලා ගිය සඳ
අමාවක සඳට සම වත
හීන්සීරුවේ පිරිමැද
ළයට ළංවෙලා
කණාමැදිරියන් පමණක්
තරුත් සමඟ දොඩමළු වෙන
අමාවක රැයක රහසින්
දොඩමළු වෙන්නම්...

අඩක් වැසූ දොරපියනෙන්
නැ‍ඟෙන කිරි කිරිය මඟහැර
බකමූණන් හඩනඟද්දි
ගෙට ගොඩවෙන්නම්
බල්ලන් උඩු බුරන හඩට
අප්පච්චී ඇහැරුනොතින්
කළුවරේම පෑලදොරින්
පැනල දුවන්නම්

සත්සමුදුර රැළි නඟාවි
තුන්තිස්පැය එක වගේම
හෙට මා දැල අදින පැයේ
ඔබ හමුවෙන්නම්
පොල් රුප්පාවේ ඈතට
අත්පටලා පිය මැන යමු
මුහුදු ගිහින් ඔහුඑනකම්
මං ළඟ ඉන්නම්..

Friday, April 13, 2012

එපා එපා අපිට එපා!

හැමදා නියං එකදා වැහි වළාවේ
එරබදු පිපීලා ගම්බද වෙල් අයිනේ
නෙත් අග කඳුලු හංගාගෙන හිත ඇතුලේ
අපි කමු අවුරුද්ද මේ සුබ බක් මාසේ

කැමරා ඇසට අසුවන සුන්දර දසුන
හැමදා දිවි ගෙවන අපටද අසුන්දර
ගම්බද සිරි වනන ආදර නිවේදක
එනු මැන වසන්නට ගම ගැන දැනගන්න

ගමට අලුත් නෑ සිංහල අවුරුද්ද
මොඩල ගමක් ඕනෑ නෑ අපට බොල
පොතපත දැනුම අගයමි ඔබ ලැබගත්ත
ඒ මුත් අවුරුද්ද එයයැයි නොකියන්න

සිංහල අවුරුද්ද වෙනුවෙන් කෑමොර දෙන මීඩියා කොවුලන් වෙතයි.

Thursday, October 6, 2011

අතීතයෙන්...

‍ඔන්න ඒ අපේ ඉහ නිකට පිරෙන්න පටන්ගත්ත කාලේ. දැළි රැවුල කපාගත්තු අපිට ලෝකෙම අපිට ඉහලින් එකෙක් හිටියෙ නැති තරම්. කොටින්ම කියනවනම් අපි තමයි කෙරුමෝ. අපේ ඉහ‍ට උඩින් කාක්කෙක්වත් ගියේ නෑ. කරදඩු දික්වේගෙන ආව ඒ කාලේ අතපයේ හිරි ඇරගන්න තමයි කොයි වෙලාවෙත් සූදානම. ඒ අස්සෙ අළුත් අත්දැකීම්. සිගරට්, අරක්කු... ආ, ඒ විතරක්ද ගංජා. මේ හැමදෙයක්ම කොල්ලෙක් හැටියට අත්හදාබලන්න තමයි උවමනාව. ඒ විතරක්ද? කෙල්ලෙක්.. ශිෂ්ඨ බසින් කියනවානම් විරුද්ධ ලිංගිකයෙක් හොය හොයා හිටිය කාලයක් ඒක. විෂය නිර්දේෂයනම් තිත්තම තිත්තයි. ගෙදරින් සල්ලි දුන්නු හින්ද පන්තිනම් ගියා. හැබැයි ඉස්කොලෙ ඇතුළෙ නරකම නරක ලේබලය වැදිල. ඒක දුකක් නෙවෙයි. ආඩම්බරයක්. ආඩම්බරකාර දඩබ්බරයෝ.

ටියුෂන් පන්තියේ හිටපු අහිංසකම කෙල්ල තමයි ඔයා. මට ඒ දවස්වල ඔයාව පෙනුනෙ ඒ විදිහට."අ‍ඩෝ, එකෙක්වත් මේකට බහින්නෙ නෑ හරිද? මේක මගේ." කෙරුමගෙ කීමට හැමෝම අවනත වුනා. හැබැයි ඔයා මේ වෙද්දිත් මෙලෝ දෙයක් දන්නෙ නැතුවයි හිටියේ. මම හරිද මන්දා. "මචං, රංගනය පැණියා. මිනිහා ශෂිකලා ළඟින් හෙල්ලෙන්නෙ නෑ." අතිජාත දකුණු අත කූඹියා.. දැම්ම මට පැමිණිල්ලක්. නඩු ඇහිල්ලක් නෑ. පන්තිය ඉවරවුන ගමන් මගේ සුරත ඉගිලිලා ගිහින් නැවතුනේ රංගනයගෙ කම්මුල මත. මමනම් එච්චරයි. හැබැයි මගේ යාළුවන්ගෙන් රංගනයට අම්බානක ලැබිල තිබුනා. ඒ කාලෙ ගුටිකෑවට‍ ඒක ඒ තරම් ලජ්ජාවක් නෙවෙයි. ඒ හින්දමද මන්දා, රංගනයත් ගුටිපූජාව කාලා කැපිලා ගියා.

අපිට තිබුනා තනියම පාඩම් කරන්න බැරි ලෙඩක්. ඒ හින්දා අපි හැමෝම පාඩම් කරන්න රෑට සෙට් වුනේ කුප්පියාගේ ගෙදරට. විශ්ව විද්‍යාලෙ යන්නනම් අදහසක් එතන හිටිය එකෙක්ටවත් තිබුනෙ නෑ. ඒක මහ කාලකන්ණිකමක්. ඒවයෙන් වැඩක් නෑ. ඔන්න අපි මුලින්ම කරන්නෙ පත්තුකරගන්නවා එක මලක්. ඒ දුමත් එක්ක අපේ නිර්මාණශීලී අදහස් පාවෙනවා. පට්ට. "ඔහොම ඉඳල හරියන්නෙ නෑ බන්. කෙලින්ම ඒකිගෙන් අහපන්. කෙල්ලො කැමතියි කෙලින් අහන උන්ට". ඒ අවවාදය අපේ සෙට් එකේ වැඩිපුරම කෙල්ලො සෙට්කරගත්තු රොමාගෙන්.

උපදෙස් මහ ඉහලින් පිළිගත්තු මමත් සෙට්වුනා පහුවදා උදේම, මගේ පෙම පවසන්න මගේ රන්කඳට. "ශෂී, පොඩ්ඩක් නවතින්න. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා". ඔයා නැවතුනා. මගේ හිතේ මලක් පිපුනා වගේ. " ඇයි සාලිය. මොකක්ද කියන්න තියෙන්නේ". ඔයා කවදත් වගේ අහින්සකව ඇහුවා. "ශෂී, මම ඔයාට ආදරෙයි" අනේ මන්ද ඒ වචන ටික කියන්න හයියක් කොහෙන් ආවද කියලා. කොහොම හරි කිව්වයි කියමුකෝ. මෙන්න කෙල්ලගෙ මූන කළු වුනා. ගත්ත පොත්ටික. දිවිව පන්තියෙන් එළියට. විලි ලජ්ජාවයි. මම මහා වැරදිකාරයෙක් වගේ හැඟුනා. "මම ආයෙ පන්ති යන්නෙ නෑ." මම කිව්වා. ඒ තීරණේම හිටියා. කාලය ගෙවිල ගියා. විභාගෙත් ඉවර වුනා. ඔයා ගොඩගිහින් තිබුනා. අපිගැන කියන්න ඕනෙ නෑනේ. මම ගමෙන් පිටවුනා. ආයෙ කවදාවත් අපි හමුවුනේ නෑ.

ඒත් අහම්බෙන් වගේ ගිය අවුරුද්දෙ අපි හම්බවුනා. දැන්නම් මම තනිවෙලා. මම කිව්වෙ යාළුවොත් දැන් පවුල් වෙලා. අපිට දැන් ජීවිතේ බර දැනෙනවා."ඉතිං කොහොමද?" ඔයා ඇහුවා."මම හොඳින්, ඔයාට කොහොමද?" මමත් ඇහුවා.
අහල නැවතුනේ නෑ."ඔයා බැඳලද?" මම ආයෙත් ඇහුවා. "නෑ, තවම නෑ. ඔයා?.." කාලය කෙතරම් නපුරුද සොඳුරිය. හදවත සින්නක්කරේටම දීල හෙටට අවුරුදු තුනයි. ඔයා හිස් සුසුමක් පිටකරා."සුබ පැතුම්." ඔයා අත දුන්නා. ඔය අත අරගන්න මම දඟලපු තරම මට සිහිවුනා. මම අතීතයට ගියා. "බඳින්නෙ නැද්ද, වයසත් දැන් හරි" මම හිනා වෙවී කිව්වා. " හ්ම්... එක්කෙනෙක් හිටිය කැම්පස් කාලෙ. ඒත් දැන් ඒක නෑ. අදහසකුත් නෑ සාලිය" ඔයා කඳුලට පෙම් බැඳලා. එදා කැමතිවුනානම් අද අපි දෙන්නම ගොඩ නේද කියල මම මුවින් නොදොඩා සිතින් කිවුවා. මම දන්නවා. ඔයාට ඒක තේරුනා. " මම ගිහින් එන්නම් සාලිය" ඔයා මට සමු දුන්නා. "ශෂී...." මම ආයෙත් ඔයාට කතාකරා. "නම්බර් එක දෙන්න. මම නිවාඩු වෙලාවක කතා කරන්නම්". ඔයා හිනාවුනා. ඒ හිනාව ඇතුලෙ බලාපොරොත්තුවක් තිබුනා. ඒත් ඒක කවදාවත් ඉටුවෙන එකක් නෙවෙයි ශෂී. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙන්නම්. ඔයා කවදහරි හොඳ කෙනෙක් හොයාගන්නකම් මම ඔයාව තනිකරන්නෙ නෑ. සමහරවිට මුළු ජීවිත කාලෙටම වුනත්.

Wednesday, October 5, 2011

දෙතිස් වධ...

අතීතයේ ලංකාවේ රාජ්යැ පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්යර පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත.

1. කසයෙන් පහරදීම
2. වේවැලෙන් හෝ පතුරකින් පහරදීම,
3. අත කැපීම,
4. පය කැපීම,
5. කන කැපීම,
6. අත්පා කැපීම,
7. නාසය කැපීම,
8. කන් සහ නාසා කැපීම,
9. ඇස් උගුලවා දැමීම,
10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,
11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,
12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,
13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.
14. දිවැස් හුල හිඳවීම,
15. කඩුවෙන් හිස ගසා දැමීම,
16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,
17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,
18. පැසුණු තෙල් වලින් නැහැවීම,
19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,
20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,
21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,
22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,
23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,
24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,
25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,
26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,
27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,
28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.
29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,
30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.
31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.
32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

මෙවැනි දඩුවම් ඉතා අමානුෂියයැයි ඇතම් විට සිතුනද, එවැනි දඩුවම් නොමැති කල සිදුවන ඇතැම් අපරාධ දැකීමෙන් මෙවැනි දඩුවම් තිබුනානම් යෙහෙකැයි කියන්නෝද සිටිති. කෙසේ නමුත් සංස්කෘතිය මඟින් හික්මනු නොහැකි වූ බොහෝදෙනා මෙවැනි දඩුවන් මඟින් හික්මවීම තුල එදා හෙළදිව අපරාධ බොහෝ දුරට අඩුකරගැනීමට පාලකයෝ සමත්ව සිට ඇත. සියොළඟ අබරණ දවටාගත් තරුණියකට තනිවම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යෑමට තරම් සුරක්ෂිතතාවත් ඇතිවීමට ආගමික සංස්කෘතික සාධක මෙන්ම මෙවැනි දැඩි දඩුවම්ද හේතුවන්නට ඇත.

ඇතින්නියේ...

ඇතින්නියේ උඹ වදපන්
සුදු දළ ඇති ඇත් පැටවෙක්
නෙළුම අරන් යන්න නොවෙයි
පෙරහැර දා දක්කන්නට...
දම්වැල් ගැන හිතනු එපා
ඒ පින් හිරකර බඳින්න
ඒ වගේද පිට උඩ ඇති
රැස් විහිදෙන මහ කරඩුව...
හෙණ්ඩු නිකම් තේජසේට
නැහැ අන්න්නේ උඹෙ පුතාට
දණ ගහලා කිරි වෙහෙරට
ඌ වඳීවි හැම උදේම...
සාදු සාදු හඩ නගාවි
සුදු ඇඳගත් හැමදෙනාම
උඩ ඇති කරඩුව දැක දැක
‍නොදැක පහල විලංගු ටික...

Thursday, September 29, 2011

මගේ ඡන්ද අයිතිය...

බැලූ විට කැඩපත
දුටිමි
ගොන්තඩියෙකු මම
අඩුවුනේ එහි මට
අං දෙකක් සහ වලිගෙ පමණය
දමා ඇත ඡන්දය
යළිත් බොරුකාරයෙකුට
කිසි දුකක් නෑ මට
ඒ මගේ
ඡන්ද අයිතිය...

ගැටළුවක්...

කොළොම්බස්
හොයාගත්තලු ගොඩබිමක්..
එතකොට
රතු ඉන්දියන්කාරයෝ
කලේ මොන ඉටිගෙඩියද
එහිසිට
කොළොම්බස්ගෙනෙ ගොඩබිම..

Thursday, September 15, 2011

පරතරය...

ඔය සඳළුතලයෙන්
එපිටට
යොමා නෙත
බලන නුඹ හ‍ට
පෙනුනේද සොඳුරිය
මා දිවිගෙවන
අසපුව...
ලෑලි පටි අතරින්
ලාම්පුව ජනිත කල
ඒ එළිය
හාත්පස ගනඳුර
තුලින් ඇවිදින්
ගැටුනේද
දෙනෙතට...
සුවිසල් මන්දිරේ
සේද තිරපට අතරින්
දැල්වෙන පහන් එළියෙන්
එළිය කරනා විලස
මගෙ සිත...
හැකිවෙයිද සොඳුරිය
එළිය කරනට ඔය සිත
කුප්පි ලාම්පුවකට
බොඳකරනවා මිස ඇස...

Tuesday, September 13, 2011

හිතයි මට...

තටු
සිහිනයක්
පමණද මට..
ඉගිල්ලෙන්නට
වෙරදරන
සිතකට,
උරුම
මහ පොළොව
පමණද..
හති වැටෙනතුරු
ඉගිල්ලෙන්නට
වරම් නැති විට..
හෙළකින් පහලට
පැන,
රක්තවන් රුධිරයෙන්
නැහැවුන
වත සතපවා
මිහිමත,
මියෙන්නට හිතයි
මට..
හාමතේ ඇදවැටී
මියැදෙන්න පෙර
හෙට...

Thursday, September 8, 2011

මහළු කවි සිත...

එකල...
සිතේ සිරවුන
දහස් සිතුවිලි
සර්බර් අවකාශයේ
බිත්ති මත
ලියූ සැනෙකින්..
වැටුනි
ලයික් එක පිට
ඉනික්බිත්තෙන්
දිගට හරහට
කොමෙන්ට් වැටුනා
මතකද...
ගෑස් ටික ගිය
සෝඩ බෝතලයක
ඉරණම
අත්වෙලා ඇත
උඹහ‍ට මෙන්ම
උඹගේ කවියට...
ඒත්
තවමත් ඉඳහිට
වැටෙනවා දුටුවිට
ලයික් එක දෙක
කලාතුරකින්
ලියන කවියට...
දිලිසුනා
නෙතු නොව
නෙතග ගුලිවුන
කඳුළු මිණි කැට
සිහිවෙලා පෙරදින...
අකලට මහළු වුන
ෆේස්බුක් කවි සිත
අතරමං වෙලා අද
හතරමං හන්දියක...

බඩ සහ හදවත

අනේ බඩ
උඹ නොහිටියානම්
හදවතට පහලින්
ලොකුවට...
මිනිස්කම හඳුනන
සැබෑ හදවත් ඇති
දැයක් බිහිවනු ඇත..
ඒත්
කරුමෙට
හදවත වගේ
කිහිප ගුණයක්
ලොකුවට
පිහිටලා උඹ
බඩ...

Monday, September 5, 2011

අතීතයට පිය නඟමු...

සත්සියයක් පිරිවර සමඟින් අඩක් හිස මුඩුකළ විජය ඇතුළු පිරිස තම්බපන්ණී වෙරළ තීරයට ගොඩබට පුවත අප කවුරුත් අසා ඇත්තෙමු. ඉනික්බ්තිව කුවේණී නම් යකින්නට පෙම් බැඳ ඇයව විවාහ කරගන්නා විජය, මෙරට රාජාවලියේ ආරම්භක රජු වශයෙන් සඳහන්කොට ඇත. විජය සමඟින් මෙරටට ආ අනුරාධ නම් ඇමතියා විසින් කොලොම්හොය හෙවත් වත්මන් මල්වතුඔය අසබඩ පිහිටවූ ජනාවාසය අනුරාධපුරය බව ඉතිහාසකතා සඳහන් කරයි. පසුගිය කාලය පුරාවටම මෙරට ජනා‍වාස ආරම්භය පිළිබඳ සම්මතය වූයේද එයයි.

පසුගිය දිනෙක ජාතික පුවත්පතකට ලිපියක් ලියමින්, අනුරාධපුර ජේතවන ව්යා පෘතියේ ප්ර්ධාන පර්යේෂණ නිළධාරී තුසිත මැන්දිස් මහතා පවසා සිටින්නේ විජයාගමනයට පෙර මෙරට ජනාවාස පැවති බව‍සට සාධක දැන් ලැබී ඇති බවය. ඒ අනුව අනුරාධපුර සහ අවට රතු දුඹුරු පාංශු කලාපයේ ප්රා‍ග් ඓතිහාසික අවධියට අයත් මධ්යල ශිලා යුගය නියෝජනය කළ බලංගොඩ මානවයා වාසය කල බව වාර්තා වී ඇති බව වාර්තා වී ඇත. එනම් විජයාගමනයට වසර 3400කට පෙර අනුරාධපුරයේ, මධ්යා ශිලා යුගය නියෝජනය කළ මානවයන් ජීවත්ව සිට ඇත.

තවද අදින් අවුරුදු 3000කට පෙර, එනම් ක්රිා.පූ. 1000 පමණ (විජයාගමනයට වසර 500 කට පෙර) පූර්ව ඓතිහාසික proto ජන කණ්ඩායම් අනුරාධපුරයේ වාසය කර ඇත. තවද ක්රි..පූ. 600-500 කාලයේ අක්ෂර කලාව ප්රtගුණ කල යකඩ යුගයේ ජන කණ්ඩායම් සිටි බවට ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දී ඇති බව මැන්දිස් මහතාගේ ලිපියේ සඳහන්ව ඇත.ජල කළමනාකරණය සිදුකරමින් කෘෂිකර්මාන්තයේ නියැලුන මෙම මිනිසුන් Oriza Zativa නැමැති වී වර්ගය තම පරිහරණයට වගාකර ඇති බවද මැන්දිස් මහතා සඳහන් කොට ඇත.

මේ වනවිටත් සිදුකෙරෙම්න් පවතින පූර්ව අනුරාපුර යුගය පිළිබඳ පර්යේෂණ සහ ඒවායේ ප්රමතිඵල සමඟින් ඔබ හමුවීමටත්, විද්වතුන් හමුවී ඔවුන්ගේ අදහස් සහ මතවාද විමසමින් අපේ ආදීතමයන් සොයා යන ගමනකට මුල පුරන්නටත් අපි අදහස්කරගෙන ඇත්තෙමු. නුදුරේ දිනෙක අරඹන ඒ සංචාරයට අප හා එක්වන්නට ඔබ සැමට ආරාධනා.
ඔබගේ අදහස් අපට ලියන්න (eranga.hemajith@gmail.com)

Monday, August 22, 2011

රහසක්

ඊයෙ හැන්දෑවෙ
විසේ ඇති ඌරෙක්
කොරටුවට ඇවිල්ලා
හාරලා හාරලා
වගාවම වනසලා..
මං යනව හේනට
අද රෑත් රන්කද
උඹට තනිනම්
වහන්නට එපා
මේ දොර පියන..
පුර හදත් නැති එකේ
මහ රෑට
තව එකෙක් එයි
උඹෙ පාළු මකන්නට..
හෙට උදේ පාන්දර
මං එනව
මට පස්සෙ ගෙට වදින
රන්වන් උදා ඉරට
දැනගන්න ඉඩ තියමු
ගෙයි හිටියෙ අපිම වග..
මං දස්ස ගොයියෙක්
වල් ඌරො හෑරුවත්
වගාවම
ඵලදාව හෙට අයිතිවෙන්නෙ මට..
බාගවිට
වැපිරුවෙ තල වුවත්
කුරහන්ය අස්වැන්න
කමක් නැත..

Monday, July 11, 2011

අද ඇයගෙ මධූසමය...

වහන් හිටි හෙළුව
මද අදුරෙ දිගහැර
සුදු සේල ඇතිරූ
යහන මත වැතිර
අවිනිශ්ච්තව හෙට ගැන
කන්‍යාවියක්
විවාහක හිමි එනතුරු...
අද ඇගේ මධුසමය
වලදමා පෙරදිනෙක
ඔහු සමග
මේ තානායමේ
මේ කාමරේ
තිර රෙදිවලින් වසා
හිරු කුමරුගේ ඇස්
ගතකළ සොදුරු
ආදර මතකය...

Thursday, June 23, 2011

කළ ගුණ...

කරල් කිරි වැද
බර ගොයම් ගස
කලල් මිහිකත
සිප වැළද‍ගෙන
පැවසුවා ආදරෙන්
නුඹයි මට
දුන්නෙ අත්වැල
වදන්නට
මේ දරු කැළ..

සොරාගෙන ආදරය...

සියපත
සුවද විහිදා
බලා සිටියාය
විල මැද
එනතුරා
උදෑසන හිරු රැස..
ඒ අතර
කොහේදෝ සිට
ආව බමරෙක්
රොන් සොරාගෙන
මල රවටගෙන..
එබමර සොර
වින්ද ඒ සුව
‍නුදුටුවේම ද
නුදුටු විලසට සිටියේ ද
ඉර නුඹ...

Thursday, June 2, 2011

වැස්ස සහ මම...

මම ජැක්,
බෝංචි ඇටයක් දෙකක්
හිටවලා
වැල හැදෙනකම් බලා සිටි...
රත්තරං බිජු දාන
කිකිළියක්
කෙකර ගානව ඇහුන
මට නිතර...
ඊයෙ රෑ නින්දෙන්ම
මම ගියා
බාගයක් දුර
වැල දිගේ...
සීතලයි වළාකුළු ළංවෙද්දි.
ඇහැරිලා බලද්දි
වහිනවා
හෙණ ගගහා...
වසා කවුළුව
මම ගියා නින්දට.
එළිවෙලා බලද්දී
යටවෙලා කොරටුවම...
නගින්නට තියා
දැන් මට
එල්ලෙන්නවත් වැල් නැත...
නිසා මේ ගංවතුර.