Thursday, September 8, 2011

මහළු කවි සිත...

එකල...
සිතේ සිරවුන
දහස් සිතුවිලි
සර්බර් අවකාශයේ
බිත්ති මත
ලියූ සැනෙකින්..
වැටුනි
ලයික් එක පිට
ඉනික්බිත්තෙන්
දිගට හරහට
කොමෙන්ට් වැටුනා
මතකද...
ගෑස් ටික ගිය
සෝඩ බෝතලයක
ඉරණම
අත්වෙලා ඇත
උඹහ‍ට මෙන්ම
උඹගේ කවියට...
ඒත්
තවමත් ඉඳහිට
වැටෙනවා දුටුවිට
ලයික් එක දෙක
කලාතුරකින්
ලියන කවියට...
දිලිසුනා
නෙතු නොව
නෙතග ගුලිවුන
කඳුළු මිණි කැට
සිහිවෙලා පෙරදින...
අකලට මහළු වුන
ෆේස්බුක් කවි සිත
අතරමං වෙලා අද
හතරමං හන්දියක...

බඩ සහ හදවත

අනේ බඩ
උඹ නොහිටියානම්
හදවතට පහලින්
ලොකුවට...
මිනිස්කම හඳුනන
සැබෑ හදවත් ඇති
දැයක් බිහිවනු ඇත..
ඒත්
කරුමෙට
හදවත වගේ
කිහිප ගුණයක්
ලොකුවට
පිහිටලා උඹ
බඩ...

Monday, September 5, 2011

අතීතයට පිය නඟමු...

සත්සියයක් පිරිවර සමඟින් අඩක් හිස මුඩුකළ විජය ඇතුළු පිරිස තම්බපන්ණී වෙරළ තීරයට ගොඩබට පුවත අප කවුරුත් අසා ඇත්තෙමු. ඉනික්බ්තිව කුවේණී නම් යකින්නට පෙම් බැඳ ඇයව විවාහ කරගන්නා විජය, මෙරට රාජාවලියේ ආරම්භක රජු වශයෙන් සඳහන්කොට ඇත. විජය සමඟින් මෙරටට ආ අනුරාධ නම් ඇමතියා විසින් කොලොම්හොය හෙවත් වත්මන් මල්වතුඔය අසබඩ පිහිටවූ ජනාවාසය අනුරාධපුරය බව ඉතිහාසකතා සඳහන් කරයි. පසුගිය කාලය පුරාවටම මෙරට ජනා‍වාස ආරම්භය පිළිබඳ සම්මතය වූයේද එයයි.

පසුගිය දිනෙක ජාතික පුවත්පතකට ලිපියක් ලියමින්, අනුරාධපුර ජේතවන ව්යා පෘතියේ ප්ර්ධාන පර්යේෂණ නිළධාරී තුසිත මැන්දිස් මහතා පවසා සිටින්නේ විජයාගමනයට පෙර මෙරට ජනාවාස පැවති බව‍සට සාධක දැන් ලැබී ඇති බවය. ඒ අනුව අනුරාධපුර සහ අවට රතු දුඹුරු පාංශු කලාපයේ ප්රා‍ග් ඓතිහාසික අවධියට අයත් මධ්යල ශිලා යුගය නියෝජනය කළ බලංගොඩ මානවයා වාසය කල බව වාර්තා වී ඇති බව වාර්තා වී ඇත. එනම් විජයාගමනයට වසර 3400කට පෙර අනුරාධපුරයේ, මධ්යා ශිලා යුගය නියෝජනය කළ මානවයන් ජීවත්ව සිට ඇත.

තවද අදින් අවුරුදු 3000කට පෙර, එනම් ක්රිා.පූ. 1000 පමණ (විජයාගමනයට වසර 500 කට පෙර) පූර්ව ඓතිහාසික proto ජන කණ්ඩායම් අනුරාධපුරයේ වාසය කර ඇත. තවද ක්රි..පූ. 600-500 කාලයේ අක්ෂර කලාව ප්රtගුණ කල යකඩ යුගයේ ජන කණ්ඩායම් සිටි බවට ආචාර්ය සිරාන් දැරණියගල මහතා පෙන්වා දී ඇති බව මැන්දිස් මහතාගේ ලිපියේ සඳහන්ව ඇත.ජල කළමනාකරණය සිදුකරමින් කෘෂිකර්මාන්තයේ නියැලුන මෙම මිනිසුන් Oriza Zativa නැමැති වී වර්ගය තම පරිහරණයට වගාකර ඇති බවද මැන්දිස් මහතා සඳහන් කොට ඇත.

මේ වනවිටත් සිදුකෙරෙම්න් පවතින පූර්ව අනුරාපුර යුගය පිළිබඳ පර්යේෂණ සහ ඒවායේ ප්රමතිඵල සමඟින් ඔබ හමුවීමටත්, විද්වතුන් හමුවී ඔවුන්ගේ අදහස් සහ මතවාද විමසමින් අපේ ආදීතමයන් සොයා යන ගමනකට මුල පුරන්නටත් අපි අදහස්කරගෙන ඇත්තෙමු. නුදුරේ දිනෙක අරඹන ඒ සංචාරයට අප හා එක්වන්නට ඔබ සැමට ආරාධනා.
ඔබගේ අදහස් අපට ලියන්න (eranga.hemajith@gmail.com)

Monday, August 22, 2011

රහසක්

ඊයෙ හැන්දෑවෙ
විසේ ඇති ඌරෙක්
කොරටුවට ඇවිල්ලා
හාරලා හාරලා
වගාවම වනසලා..
මං යනව හේනට
අද රෑත් රන්කද
උඹට තනිනම්
වහන්නට එපා
මේ දොර පියන..
පුර හදත් නැති එකේ
මහ රෑට
තව එකෙක් එයි
උඹෙ පාළු මකන්නට..
හෙට උදේ පාන්දර
මං එනව
මට පස්සෙ ගෙට වදින
රන්වන් උදා ඉරට
දැනගන්න ඉඩ තියමු
ගෙයි හිටියෙ අපිම වග..
මං දස්ස ගොයියෙක්
වල් ඌරො හෑරුවත්
වගාවම
ඵලදාව හෙට අයිතිවෙන්නෙ මට..
බාගවිට
වැපිරුවෙ තල වුවත්
කුරහන්ය අස්වැන්න
කමක් නැත..

Monday, July 11, 2011

අද ඇයගෙ මධූසමය...

වහන් හිටි හෙළුව
මද අදුරෙ දිගහැර
සුදු සේල ඇතිරූ
යහන මත වැතිර
අවිනිශ්ච්තව හෙට ගැන
කන්‍යාවියක්
විවාහක හිමි එනතුරු...
අද ඇගේ මධුසමය
වලදමා පෙරදිනෙක
ඔහු සමග
මේ තානායමේ
මේ කාමරේ
තිර රෙදිවලින් වසා
හිරු කුමරුගේ ඇස්
ගතකළ සොදුරු
ආදර මතකය...

Thursday, June 23, 2011

කළ ගුණ...

කරල් කිරි වැද
බර ගොයම් ගස
කලල් මිහිකත
සිප වැළද‍ගෙන
පැවසුවා ආදරෙන්
නුඹයි මට
දුන්නෙ අත්වැල
වදන්නට
මේ දරු කැළ..

සොරාගෙන ආදරය...

සියපත
සුවද විහිදා
බලා සිටියාය
විල මැද
එනතුරා
උදෑසන හිරු රැස..
ඒ අතර
කොහේදෝ සිට
ආව බමරෙක්
රොන් සොරාගෙන
මල රවටගෙන..
එබමර සොර
වින්ද ඒ සුව
‍නුදුටුවේම ද
නුදුටු විලසට සිටියේ ද
ඉර නුඹ...

Thursday, June 2, 2011

වැස්ස සහ මම...

මම ජැක්,
බෝංචි ඇටයක් දෙකක්
හිටවලා
වැල හැදෙනකම් බලා සිටි...
රත්තරං බිජු දාන
කිකිළියක්
කෙකර ගානව ඇහුන
මට නිතර...
ඊයෙ රෑ නින්දෙන්ම
මම ගියා
බාගයක් දුර
වැල දිගේ...
සීතලයි වළාකුළු ළංවෙද්දි.
ඇහැරිලා බලද්දි
වහිනවා
හෙණ ගගහා...
වසා කවුළුව
මම ගියා නින්දට.
එළිවෙලා බලද්දී
යටවෙලා කොරටුවම...
නගින්නට තියා
දැන් මට
එල්ලෙන්නවත් වැල් නැත...
නිසා මේ ගංවතුර.

Thursday, May 26, 2011

සිහිනයක්....

කිරිල්ලියට තටු ලැබිලා
අහස පුරා පියාඹනව
උකුසු රැළක් ඈත ඉදන්
කිරිල්ලිය‍ට මානනවා
හති වැටෙයිද තටු රිදෙයිද
නිල් අහසට දුක හිතුනා
සිනිදු වළාකුලක හොවා
කිරිල්ලියව සතපනවා

මවකගේ පැතුම..

පොඩි පුතේ නැගිටපන්
කෝච්චිය දැන් ගියා
මූණ කට හෝදගෙන
කහට උගුරක් බීලා
මම හදපු කෑම ටික
තේ කඩෙන් තියාපන්
හැන්දෑවෙ මම ගිහින්
සල්ලි ටික ගේන්නම්
මයෙ පුතා ඉස්කෝලෙ
ගිහින් ලොව දිනාපන්

Tuesday, May 24, 2011

ඇගෙ පැතුම...

පින්බරයි හැන්දෑව
එකෙක් හරි ආවනම්..
ඒත් කොහෙ ලගින්නද
හැමතැනම පොලීසිය..
රටට පින් කරන්නට
පව්කාර අපි ඉතිං
බඩගින්නෙ වේලෙනව..
ඉන්මනින් අමාවක
ආවනම් හරි හොදයි
හැමතැනම කළුවරනෙ..
මහ මගට එළිය දෙන
ලයිට් කණු වගේ අපිත්
සැප සොයා ඉගිල්ලෙන
උන්ට සැප බෙදනවා..
ඒක වරදක්ද
එහි වරද මට පහදන්න
වරද මගෙ විතරක්ද
පිරිමි තනිකර සුදුද...

Monday, May 23, 2011

මල් සහ අපි..

මේ මල් පිපෙන්නේ
සුවද හමන්නයි
බමරු ඇදෙන්නේ
ඒ සුවද විදින්නයි
කවි පබදින්නේ
ඒ රසය කියන්නයි
ඒ කවි කියවා
උමතු නොවන්නයි...

පාට පාට මල් සුවද හමනවා
ඒ අතරේ විස මල් ද තියෙනවා
මලට පෙම් බදින බමරු නැහෙනවා
සමහර බමරුන් මල වනසනවා...

මලට සමයි නුඹ රුවැති ළදුන්නේ
බමරු සමයි නුඹ පෙම් කුමරුන්නේ
මල් සහ බමරුන් අතර තියෙන්නේ
නුඹ හැමගේ පෙම් කතන්දරේ නේ...

Sunday, May 15, 2011

සම්බුද්ධත්ව ජයන්තිය...

සිතන්නට සිතක් නැති
කූඩු ඇත ලෙලදෙමින්
මද සුළගෙ පහස ලැබ
රැළි සැලෙයි
සිලි හඩින්...
සසර බන්ධන නසා
ලැබූ උතුම් බුදු පදවි
තිලෝඅග සම්බුද්ධ
දහම ඇත වැනසෙමින්...
පිළිවෙතින් පෙළගැසී
සුදුවතින් සැරසිලා
කළු දුදන උපාසක
පන්සලට ඇවිල්ලා
හැමදාම සිල්ගන්න
උපාසක විසිවෙලා
බුදු දහමෙ රන් කිරුළ
දුදන හිස වැජඹෙනා...
පිරිත් පොත් පිටු අතර
මොනර කොළ හිරවෙලා
කසාවත බොහෝවිට
වැරදි අය පොරවලා
රටේ පොදු මාධ්‍යය
සෝවාන් ඵල ලබා
සම්බුද්ධ ජයන්තිය
මගුල් දිනයක් වෙලා...

Thursday, May 5, 2011

පොඩි කෙලී ලොකු වෙලා..

වත්තෙ ගස්
තනිවෙලා
ගෙයි මිදුල
ලොකු වෙලා
මිදුලෙ ඉඩ
වැඩිවෙලා
බලු පැටවු
තනි වෙලා
ගෙයි පුරා
දුව පැනපු
දග කරපු
පොඩි කෙලි
ලොකු වෙලා
ගෙට වෙලා
හෙට මගුල
වරෙල්ලා...

දෙපැත්ත

ජීවිතය
ජයගත්තු
ආදරය
හිගාකන
පෝසත්තු...
ආදරය
ජයගත්තු
ජීවිතය
හිගාකන
‍දුප්පත්තු...

ආදරය ගැන ..

ආදරය
හරි ලස්සනයි,
අකුරු හතරයි...
හදවත
කිලිපොලයි...
නැති උන්ට
තනිකමයි,
ඇති උන්ට
සැනසුමයි...
ළගම මිතුරා
වෛරයයි...

Tuesday, May 3, 2011

මොඩර්න් ගජමන්...

ඇලපාත ඩාලිං
ඔයා දැන් වෙරි බිසිද
අද රෑට සෙට් වෙමුද
දෙනිපිටියෙ ක්ලබ් එකට
අලිනම් නෑ මෙයා
ළගපාත කැලෑවල
වෙපන් එක වැඩක් නැහැ
ප්ලැටුන් එක ඉන්නකොට
හන්දියේ පොඩි එකෙක්
වල් කතාවක් කිව්ව
එකෙක් දෙන්නෙක් යවල
කඩමු දත් දෙකතුනක්
ළගදි ගත් ෆැක්ටරිය
පාඩු පිට පාඩුමයි
සභාවෙන් ඕඩරය
දෙන්නෙ මට කවදාද
මේ වගේ සුබ කතා
දුරකතනයෙන් මොටද
එක රැයක සැතපිලා
විසදමුද මේ අවුල...

Wednesday, April 27, 2011

පුන් පොහොය අතළග

අහස නුඹ
කළු කරන් වත
අමනාපයෙන්වත් ද
හිරු කුමරු සමග...
අවසරයි කියන්නට
සීතලයි වටපිට
උඹෙ කදුළු වැටිලාම
ගංවතුර දැන් මෙහෙට...
අලුත් අවුරුදු දවසේ
පිටුපෑව හිරු කුමරුට
යන්න ඉඩහැර
පෙම් බදිනු මැන
වෙසක් පසළොස්වක සදට...
සංසාර පුරුද්දට
සුදුවතින් සැරසිලා
සදකිරණෙ නැහැවෙන්න
කැමති අපි හැමෝටම...
ඉඩදියන්,
කළු වළා ඉවත්කර
සුපුන් සද දැකගන්න.

Tuesday, April 26, 2011

සිරකාරී...

හිතේ දුක වැඩිවෙලා
නිල් නුවන් අගිස්සෙන්
කදුළු බිදු වැටෙනවා
ගිණිගහන මිහිකතට..
තල් අරඹ කෙළවරේ
කලපුවේ වැලිතලේ
අහිමි උන් සිහිවෙලා
තනිකඩ මුවැත්තියට..
මුහුදු හුළගට දිරන
වෙඩි උණ්ඩ කොපු අතර
වළදැමූ ආදරය
ගොඩගන්න වෙරදරන..
සිරකාර හදවතට
හිසට ඉහළින් පෙනෙන
සුදුපාට පරෙවියන්
කුමට නිදහස නැතිව..

Monday, April 18, 2011

මහළු කවියා ...

වෙවිලන දෑගිලි
වෙර දරයි
රදවගන්නට
පන්හිද..
මහළු නොවූ
සිත
අමුණන පදවැල්
අකුරු කරන්නට
අතට වාරු නැත..
ගිමන නිවන
සුසානය
පෙනී පෙනී
ජීවිත ගමන කෙළවර..
කවියෙක්
පෙම් බදිනවා
මරණයට සහ කවියට..

Monday, April 11, 2011

ගමට අවුරුදු...

රජරට රැජිණිය
ගන්න මා
ඔබ තුරුළට
කළු දුමෙන් තොර
නිසසල
මගේ ගම වෙත
ගෙනයන්න මා
විගහට..
රන්වන් කරල් එකමත
එක තබා ඇත කමතක
ඉපනැල්ල සිප මදනල
සනසවයි මා
ගත සිත..
කොළඹින් ගත්තු
සේරම
‍ගුලි වෙලා ඇත
මලු තුල
අවුරුද්ද අද හෙට එන
ගමට පමණයි
නොමැත කොළඹට..